Thursday, September 30, 2010

අමාවක

ආකහේ සළු මතින්
තරු ගඟම ගිලිහිලා
අමාවක මකන්නට
නුඹේ දෙනෙත් නැත දුලා

අඳුර මම හැඳිනුවෙමි
නුඹ එළිය දුන් නිසා
සිනහවක් සිඹින්නෙමි
නුඹේ මතකයෙන් ගෙනා

හෙටක නුඹ ළඟට වී
සිහිනයක දැවටිලා
නුඹේ නෙතු කැල්ම ළඟ
කඳුළු සඟවමි නොලා

....

සිත ගැඹර ඉකිබිඳින
මේ සුසුම් රැළි දහස
පාළුවම නම් නොවේද
ඉදින් නුඹ දුර ඈත...

Tuesday, September 28, 2010

නුඹ නොආ දා

නුඹ එනතෙක්
දෑත ගුලි කළ සුසුම් රැස
විසිරුවෙමි දස අත
මල් පොඩිති
ඉන් පිපෙනු ඇත

Monday, September 27, 2010

somewhere

somewhere down the rainbow
there is a special place
where I won’t have to be strong
just in case

 somewhere down the rainbow
that will be the place
where I can be in your arms
and be in peace

 somewhere down the rainbow
I wish there was a place
where I won’t say I miss you
as you’ll always be close

Sunday, September 26, 2010

උඩවැඩියාවට

නුඹ මගෙන් දිවි ගෙවයි
නුඹ නිසා දිවි ගෙවමි

Saturday, September 25, 2010

lost

සදාතන වස්සානයක් මැද
සීතලෙන් උණුසුමක් සෙව්වෙමි
දෙකොපුලෙහි කඳුලැලිත් මිදුනත්
වැසූ දෙනෙතින් හිරු දකින්නෙමි

දෙනෙත කඳුලැලි ඉතිරි වී නැත
කඳුළු සාගරයක් හෙලූවෙමි
දිවියේ සුවිසල් පතන් බිම් මැද
තවම සෙවනක් සොයා යන්නෙමි

සුළං අතටම ගසාගෙන ගිය
අතීතයේ සිතුවම් දකින්නෙමි
සිසිරයේ රුදු කුණාටුව මැද
මඟ හැරුණු මල් පියලි ඇහිඳිමි

Tuesday, September 21, 2010

කතර මැද

රළු ළවැලි දැවටුන
නිරුද කතරක් අසබඩ
පිපාසිත සිත මම
නුඹයි වට හිරිපොද රැස

මැණික් සේ දිදුලන
වැලි කැටිති මේ හැමතැන
සීරිලා හදවත
රුහිරෙන් අඳිමි සිතුවම

නුඹෙන් දුටු කෙම්බිම
මිරිඟු දිය වුව කම් නැත
තෙතක් නැති ලොව තුල
පතොක් මල වෙමි නුඹ ළඟ

...

පවනක්ව දැවටෙන්න
සිත තනිය දුරලන්න
ගීයක්ව මිමිනෙන්න
රහසින්ම ළඟ ඉන්න

නෙතු දෑලේ තනිවෙන්න
වරම් නැත ලංවෙන්න
දිදුල දෙන සඳ වැන්න
දුරින් ඉඳ හිනැහෙන්න

Monday, September 20, 2010

රටා

ඊයේ..
අද හා
මතුත්,
රටාවෙන්
පිටත
මම

Sunday, September 19, 2010

අහඹු

නුඹ..
සින්නයට ගත්
අහඹු සිතුවිල්ල!

Thursday, September 16, 2010

මගේ සුසුම

දෙනෙත තැවරුණ විඩා සිඳිනට
පුංචි සුසුමක් මගෙන් නුඹහට
ළඟට වී අතැඟිලි සිඹින්නට
ඉඩක් නැති දින සුසුම ගනු මැන

නේක හැඩ ඇති සුසුම් ළඟ ඇත
ලෝකයෙන් නිති මුවා කළ හැකි
නුඹ නමින් ඇති සුසුම් පමණක්
රහසේම සිත දෙකඩ කරවන

ජීවිතේ බර දරා වෙහෙසව
සිත් සතන් හිරිවැටුණ මොහොතක
දුරක සිට මා එවන සුසුමක්
නුඹට නිතරම තනි රකිනු ඇත

Wednesday, September 15, 2010

බැඳීම

හිරුට පෙම් කළ
සරුංගලයකි...
නූලකින්
ලෝකයට බැඳ ඇති

Tuesday, September 14, 2010

මායාව

හිමි වුනත් ළං නොවෙන
ළං උනත් හිමි නොවෙන
මායාව මෙයම වෙයි
ජීවිතය නම් කියන!!

Monday, September 13, 2010

සොයමි

පවන් රැල්ලක එතී
දඟ කරන් පාව යන
වරා මල් පියල්ලක
මගේ හදවත තබමි

හිස් අහස් කුස පුරා
දස අතම සැරි සරා
තුරු ලපළු මුදුන් වල
ගිමන් හරිමින් හිඳිමි

මගේ හදට හුරු සුවඳ
තව වරා මලක්‌ ළඟ
පෙති අතර සැතපිලා
සන්හිඳක් නිති සොයමි

Sunday, September 12, 2010

උදෑසන

පිණි සිඹින මලක් ළඟ
නුඹේ සෙනෙහස තබමි..
උදා රැස් වළල්ලෙන්
දිදුලනා ලොව දකිමි..
වළා කැරළිති අතර
සැඟවෙනා රුව සොයමි..
සුළං රැල්ලක තබා
රහස් නුඹ වෙත එවමි..

Thursday, September 9, 2010

සියවැන්න!


සමසක් පුරාවට
හද විල් තල මත
පිපි පියුම් අතරින
නුඹ නමින් සුපිපුණ
මෙයයි..
සිය වෙනි මහනිල..

කවි සිත් සිඳුණු හදකින්
කවි ගඟක් මවන්නට
එකව් දිය ලොව බෙදන්නට
නුඹ ළඟින් උන් බැවින
මෙකවි අස්වනු හැම
හිමිකරුත් නුඹමය!

Wednesday, September 8, 2010

අහිමි

කලාතුරකින් වුවද
නුඹ ගෙනෙන සතුට පොද
මගේ සිතට නුහුරු බව
ඉඳුරාම මම දනිමි
නුඹේ අත්ලත තබමි
ඉන් එකම සිනහවක්
මට අහිමි දෑතකට...
මට අහිමි සිනහවක්...

Monday, September 6, 2010

පහන

පහන් දැල්ලක් දකිමි
දිලි දිලී සසල වෙන
නිවෙන්නට තතනමින්
යළි යළිත් එළිය දෙන
අඳුරු තිරපට ඉරා
ලෝකයට දෙනෙත් දෙන
ඉන් තමා දැවෙන බව
දැන දැනත් නොනවතින

Friday, September 3, 2010

...

"රෑ ලියූ කඳුළු කවි
අරුණ හා වියැකුණිද"
නුඹේ හසරැල් ළඟදී
කඳුළු මැඬ සිනාසෙමි

නපුරු සිහිනයක් මැද
මංමුලා වී ගෙවන
මගේ දිවියේ රැය පමණි
නුඹට මම නොපවසමි

Thursday, September 2, 2010

Wednesday, September 1, 2010

කඳුළු ගඟ

කොහේ හෝ ඈතකදී
වැටුණු පොඩි කඳුළකින්
මේ කුඩා දොළ පාර
පෙරදිනෙක මැවෙන්නැති

අතරමඟ හැම නෙතින්
උපන් කඳුලැලි අරන්
හෙමි හෙමින් කොඳුරමින්
මේ ලෙසට ඇදෙන්නැති

මඟ දිගට පය හැපෙන
දුක් කැබලි සිලුටු කොට
කඳුළු ගඟ ගැඹර මැද
සඟවලා තබන්නැති

කඳුළු බිඳු සිය දහක්
ලැගුම් ගත් සයුර ළඟ
මේ කඳුළු බර හෙලන
සිහිනයක් දකින්නැති