Saturday, October 30, 2010

elusive

සිහින කළතා
අහසේ අඳිනෙමි
පාට සියයක් දිලෙන දේදුණු...
ඒ අතර නුඹ
හිමින් ඇවිදින්
හිරු මුවාකර සිනාසෙන’යුරු !
සරැළි කළතා
දියෙහි ලියනෙමි
වදන් නැති මගේ කවිය සුමියුරු...
එදිය රැළි මැද
කුමුදු පුබුදා
නුඹ සඳක් වී සිනාසෙන ‘යුරු!
සිතැඟි කළතා
හදෙහි තවරමි
සිඹින්නට බැරි මලක රොන්සුණු...
නුඹ සුළඟ වී
ගතේ දැවටී
සුවඳ ගෙනැවිත් සිනාසෙන’යුරු!

Thursday, October 28, 2010

පිටු අතර

පිටු පෙරලන
නුඹේ අතැඟිලි අතරේ
දැවටෙයි හෙමිහිට
මා සතු සුසුමක්...

Wednesday, October 27, 2010

මොහොතක්

තණකොළ මලකට
පෙම්බැඳි දවසක
පිණි බිඳුවක් රහසේ හැඬුවා..
මොහොතක් සිපගෙන
මොහොතින් සමුගෙන
හිරු රැස් හා සැඟවී මැකුණා..

Tuesday, October 26, 2010

වැහි බිංදු

දුර ගෙවා අහස පිස
වැටෙන හැම වැහි බිඳක්
මලක් මත වැටෙන්නට
පෙරුම් පුරනවා ඇතිද?

අහස දෙස පෙති විදා
සිනාසෙන හැම මලක්
වැහි බිංදු ලබන්නට
පෙරුම් පුරනවා ඇතිද?

Sunday, October 24, 2010

නුඹ, මම.. වදන් සියයෙන්

හීන අහුරක් දෑත ගුලිකර
හිත් ඉමේ පියමනින්නේ නුඹ
නුඹට හිමි නැති මටද හිමි නැති
ලොවක ලස්සන දකින්නෙමි මම

බිඳෙන උපදින හැඟුම් අද්දර
සොඳුරු ඉසිඹුව මවන්නේ නුඹ
ඇඟිලි තුඩු අග පිපෙනවා මෙනි
මුදු සිහින රඟ විඳින්නෙමි මම

හදවතේ ඉරි තැළුණු සලකුණු
සෙමෙන් පිරිමැද මකන්නේ නුඹ
දෑත නොපොවන දුරක සිටියත්
නුඹේ සුසුම් සුව සිඹීන්නෙමි මම

කඩ ඉරෙන් ඇඳි සිතුවමක් සේ
සිතේ ගැඹරක ඇඳෙන්නේ නුඹ
පාට හැඩතල පුරනු නොහැකිව
සසැලෙමින් නිති හඬන්නෙමි මම

අවර අහසක නුහුරු දවසක
පුර සඳක් සේ පිපෙන්නේ නුඹ
සිහිනයට වැඩි හැබෑවට අඩු
මිරිඟුවට පෙම් කරන්නෙමි මම

http://onezerozerowords.blogspot.com/2010/10/blog-post_24.html

Wednesday, October 20, 2010

කඳුළු මාලය

මේ කඳුළු මාලයේ
අඩුපාඩු පුරවන්න
නුඹේ කඳුළු තියේ නම්
එන්න එය සරසන්න

Sunday, October 17, 2010

කවි පවුර

සිතට රිසි සේ
අකුරු අමුණා
හිරි අරින්නට
ඉඩක් නැහැ දැන්...
හිතේ ගල් වුණු
කවි බිඳිති ටික
එකතුකර මම
බඳිමි පවුරක්!

Friday, October 15, 2010

.....

අඳුරු රුදු වැහි වැටෙන
බොල් හීන ඉකිබිඳින
තවත් දවසක් ඇවිත්
මගේ ලොවට හිරු නොඑන
මුදු කසුන් රිවි කිරණ
ළඟට වී සිත සිඹින
සිහිනයක දිනක් වෙයි
කඳුළු දිය නෙත සිඳෙන

Thursday, October 14, 2010

වැලි මාළිගා

බිඳෙන් බිඳ නුඹ ගෙනත්
මගේ හිතට ගොඩගහන
මේ සිනා ළවැලි ගෙන
මාළිගා තනමි මම
සයුරු තෙර කළඹමින්
රුදුරු රළ නැඟෙන ඉම
නොතනන්න මාළිගා
උගෙනගමි ඉතින් මම 

Tuesday, October 12, 2010

නුඹ දුර නැත

















දුර අහසක දුල සඳවත
සිප ගනු කිසි දින හිමි නැත
දැන දැන සඳ රැස් සයුරත
කිමිදී හද මල විකසිත

සඳ රුව දැක විල් තල මත
නුඹ දුර නැත, පවසයි සිත
විල් දිය රැළි නිති සසලිත
නෙත ඉනු කඳුළැලි සඟවත

Sunday, October 10, 2010

as if you were nearby

to lurk in my memories
to hide in my sighs
you are just as so stubborn
as if you were nearby...
to touch my dreams with wonder
to fill my world with smiles
you are just as so lovely
as if you were nearby...
to brush away the hurt
and to make life seem worthwhile
you are just as so special
as if you were nearby...

Saturday, October 9, 2010

කැලෑ මල්

දස අතම පැහැය කර
ළපටි තණපත් අතර
කැලෑ මල් දිදුල දෙන
වසන්තය ඇවිත් ඇත
අරුණ සමඟින් පිපෙන
අඳුර හා සැඟව යන
ඒ සොඳුරු හැම මලක
සිහිනයක් සැඟව ඇත

Thursday, October 7, 2010

මේ කවි

කඳුළුයි මේ කවි
දෙනෙතින් නොවැටෙන

සෙනෙහස උතුරා
සිත ළඟ දැවටෙන..
නුඹේ නමින් නිති
හද තුල උපදින..

කඳුළුයි මේ කවි
දෙනෙතින් නොවැටෙන

Tuesday, October 5, 2010

මේඝ දූත

සීතල වැහි බිඳු
උණුසුම් කරනට
ඇසුරු සැණෙක
නුඹ ළඟට වෙලා..
මේකුළු අතරේ
දවටමි පැතුමක්
පා කර එවනට
නුඹව සොයා..

Monday, October 4, 2010

සිහිනෙක සුවඳක්

තරුවක් ගිලිහුණ
තැනකින් අහසේ
තරුවක හැඩයක් ඉතිරිවෙලා
කඳුළක් බොඳ වුණ
දවසක මනෙතේ
කඳුළක ලකුණක් ඉතිරිවෙලා
යුගයෙන් යුගයට
සුසුමින් සුසුමට
නුඹ මගේ හදවත ළඟට වෙලා
කඳුලැලි පිසිමින්
හසරැල් ගෙනෙමින්
සිහිනෙක සුවඳක් තිළිණ කළා