Tuesday, August 31, 2010

සිහින ගෙත්තම

මතකයට විසිකරන්නට නම්
හිත් නොදෙන මේ හාදු අහුරම
දෝතකට ගෙන කොපුල අද්දර
සඟවාගන්නම් රෑ පුරාවට...

කල්පයක් රැඳී අඳුර බිඳගෙන
කලා පිරි සඳ ලෙසින් පායන
නුඹේ සිනා වත ගෙත්තමක් වී
දකිමි මම හැම සිහින සළුවක...

Sunday, August 29, 2010

....

සිනා සයුරක් අතර
කඳුළු බිඳුවක් රකිමි
කල්ප වැස්සට තෙමුණ
හදවතක් පිරිමදිමි

නොනිමි සීතලක් මැද
නිරතුරුව කල් ගෙවමි
ලෝකයට වහන් වී
කඳුළු කව් පද ලියමි

Friday, August 27, 2010

wishes

unbidden they arise
hiding in heartbeats...
whispering softly
of the sadness
of sweet longings...
vanishing into thin air
on the wings of
secret sighs..
wishes they are

“only if they came true!”...

Wednesday, August 25, 2010

නොලියනා කවි

කියන්..
නුඹ
දකිනවද...
මා
නොලියනා
කවිත්?

Tuesday, August 24, 2010

පෝදා කවිය

පෝදා ද වගක් නැති
මේ අඳුරු වැහි වළා
සඳේ රුව මකන්නට
හඬා වැටෙනා තරම්!!

Monday, August 23, 2010

සෙවනැල්ල

අත ළඟම සේ පෙනෙන
මායාව සිත දවන
නුඹයි සෙවනැලි දහස
ළඟ වුනත් ළඟ නොවන

එළිය සමගින් මැවෙන
අඳුර ළඟ සැඟව යන
නොපෙනුනත් ළඟින් ඉඳ
හිතට එබිකම් කරන

කිසිදිනක හිමි නොවන
කිසිදිනක වෙන් නොවන
තනිකමට තනි රකින
සෙවනැල්ල නුඹ සබඳ

Sunday, August 22, 2010

සිත අරවින්ද

සිත් මලක පෙති සින්ද
කඳුළු නිති නෙත බින්ද
යුගයේ කටු කළලින්ද
වැසුණි සිත අරවින්ද

දහක් මුදු වදනින්ද
සිහින සුව පහසින්ද
නුඹ ළඟම සුව වින්ද
පිපුණි සිත අරවින්ද

Saturday, August 21, 2010

plum blossoms

නූපන්න වසන්තෙට
ඇඟිලි ගනිමින් තුටින්
හිම පියලි පිස හමන
සුළං ඉවසා සිතින්
පොකුරකට තුරුළු වී
මුදු රහස් කොඳුරමින්
ප්ලම් කුසුම් පිපී ඇත
හෙටක අරුමය අරන්

Friday, August 20, 2010

හිරු..සඳු

රැයක් පිපෙයි මට
නුඹ හිරු ළඟ තව
සුසුමක් සඳු අත
කෙසේ එවන්නද?

ලෝකය නවතින
හිරු සඳු සැඟවෙන
දිනයක් එයි මතු..
පැතුම් පතන්නද?

Wednesday, August 18, 2010

මුතුහර

නුඹ මගේ නෙත කඳුල
සිනාසෙද්දී වැටෙන
සොඳුරු හසරැල්ල නුඹ
කඳුළු අතරින් පිපෙන
කඳුළු මුතු සිනා මිණි
එකින් එක නුඹ ගෙනෙන
මුතුහරක රඳන්නෙමි
හදෙහි සඟවා තබන

Tuesday, August 17, 2010

පියඹමි!


නුඹ ඇඟිලි තුඩු අග හිඳ
විදාලමි පියාපත්
නිදහසේ සරන්නට
මායා ලොවක් තුල

Monday, August 16, 2010

නුඹේ සිනා

සිනා හිඟ සීත කල
තොසින් කල් අරිනු වස්
නුඹේ සිනා එකින් එක
හදට එක්තැන් කරමි..
කඳුළු මේ කුළු පිරුණු
අඳුරු සීතල දිනක
ඒ සිනා ගෙන තවා
හදම උණුසුම් කරමි...

Saturday, August 14, 2010

බඹරින්ද

රොන් සුණුද මකරන්ද
මල්මී ද රස වින්ද
මලක බඹසර බින්ද
මමයි සකි, බඹරින්ද

මා පෙමට ලොබ බැන්ද
හැම මලට පවසම්ද
ලොව දසත සිත් බින්ද
මමයි සකි, බඹරින්ද

Friday, August 13, 2010

අතරමං










මුහුදටත් හිමි නැතිලු
පුලිනයේ රැඳුණු පසු..
වෙරළටත් හිමි නැතිලු
සයුරතෙන් මිදුණු පසු..
පැහැය වියැකී මැකෙන
ටිකෙන් ටික මිය ඇදෙන
සිප්පි කටුවක් බලන්
හීන අමතක කරන..

Wednesday, August 11, 2010

සිහිනයක රැවටිල්ල

ඉහ හැරුණු අත දුවන
ඉබාගත සිතුවිල්ල
නුඹ ළඟම නතර වී
කිමද මේ කැළඹීල්ල
හීතලම කඳුළු බිඳු
ඔය රස්නේ අත් දෙකෙන්
පිහිනවා සේ දැනෙයි…
සිහිනයක රැවටිල්ල!

Tuesday, August 10, 2010

කගපත

හදවත
පිරිමැදි
කගපත,
සෙනෙහස!

Monday, August 9, 2010

කොහේ හෝ

ඇහැළ මල් පියවිලි
විමන් සැරසූ මේ බිම
සිනහ හා කඳුළුද
දොරේ ගලනා මේ බිම
මගේ කුඩා හීනද
කොහේ හෝ මිහිදන්ව ඇත තව ..

Sunday, August 8, 2010

නුඹ මා ළඟම...

හිමිකම් නොකියමී ගණ නිල් නුබ තලට
දේදුනු සේම නිලි වැසි පුරුදුයි හදට
මන්දාරම එබෙන කළුවර රුදු රැයෙක
තවමත් පෙම් බඳිමි අත දිගු නැති නුබට

වැහි පොද විලස හිමි නැති අහසින් වැටෙන
සුළඟක් විලස මේ කුළු කලඹන දසත
පැහැයක් විලස පෙරඹර බොඳවී පෙනෙන
මම නුඹ දකිමි හැම තැන...නුඹ මා ළඟම!

Friday, August 6, 2010

සිනාසී..

මේ සුසුම බර වැඩියි
නොහෙලාම සිනාසෙමි
මේ කඳුළු නෙත දවයි
බොඳ නෙතින් බලා ඉමි
සිතන්නට වරම් නැති
සිතුවිල්ල අතරමැද
කිසිත් නොවූ විරූ සේ
සිනාසී දිවි ගෙවමි

Thursday, August 5, 2010

පෙණ බුබුල


රැගෙන යනු මැන මා ද
සැහැල්ලුව දිදුල දෙන
නුඹ අයිති ලෝකයට..
එකම එක මොහොතකින්
බිඳී යන ලෝකයට.. !!

Wednesday, August 4, 2010

සුබ නිමිති

ගනඳුරට තනි රකින
කවි සිතම නිදි වරණ
ඉතින් මේ රෑ පුරා
සොඳුරු කවි වැල් ගෙතෙන

ලොව එළිය දෙන අරුණ
රන් කිරණ දැක නිතින
සුබ නිමිති සොය සොයා
නුඹ ළඟට සිත ඇදෙන

Tuesday, August 3, 2010

එකම අහසක් යටදි

බොහෝ දුර ඈත සිට
සිත ළඟම දැවටිලා
දෙතොලගට නුඹ ගේන
සොඳුරුතම හසරැල්ල
එකම අහසක් යටදි
මුණගැහෙන හෙට දිනෙක
නුඹේ නෙතු ගැටුණු විට
දහක් දේ පවසාවි...
නමුත් මා ගොළු වේවි...

Monday, August 2, 2010

....

අද නුඹට
නොදුන් හාදුව
බෝ දුකෙන්
අත්ල මත තබා
උතුරු සුළඟේ
පාකර එවමි..
මතක ඇතිව
අහුලා ගන්න