Saturday, December 24, 2011

letting go

උඩඟු කඳු මුදුනට
වගක් නැති බව දැන දැන
නිතර ළඟ දැවටෙන
වළාකුල දුටුවේද නුඹ?

කඳු මුදුන අතහැර
රිදෙන ගමනක් යන්නට
හිත හදාගෙන, මොහොතක්
හැඬූ හැටි දුටුවේද නුඹ?

Monday, December 19, 2011

කඳුළු නොගනින

ඉඳහිටක දුර ඉඳන් හඬන හඬ
හීන් සරකින් සවන වැකෙනවා
ළඟ ඉඳන් සනහන්න නොහැකි දා
සිනහවක් වී කඳුළු පිසිනවා

මඟ දෙපස මා නිතර යනෙන අත
නුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවා
දෝතකට නෙලන්නට නොහැකි මුත්
දුර තියා නුඹේ සුවඳ දැනෙනවා


නිදි නොනිදි අතර මැද නතර වී
හීනයක කොණක නුඹ තැවෙනවා
දෑත දිගු නොකර හදවත වසා
කඳුළු නොගැනම සිනහ මවනවා

Friday, December 16, 2011

looking forward

අදිසි අතැඟිලි අගින්
අවුල් කර තුරු මුදුන්
සුළඟ දඟ කලත් නිති
හෙටත් තුරු මඟ බලන්!

Wednesday, December 14, 2011

කුරුටු

හිතේ එක දාරයක
ඇදුම්කන එක තැනක්
නුඹ කුරුටු ගා ගිහින්
වදන් නැති පද පෙළක්

Sunday, December 11, 2011

එළිය

නුඹ...
එළියක්ව
නතරවන තුරු මා ළඟ

මා රටාවක් බව
නොදැන සිටියෙමි
මමම...

Saturday, December 10, 2011

හඬන්නී

ගිනිගත්තු දහවලේ
වළා සළුවක එතී
සිනාසෙන මං සෙවූ
අහස ඇත අඳුරු වී
හවස් කල එළඹෙද්දී
තවත් ඉවසනු නොහී
අනෝරා වැසි එවා
මහා හඬින් හඬන්නී

Sunday, December 4, 2011

පිස්සු

මට හිටිය ගමන් හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න. එහෙම හිතෙන්නේ පිස්සු තියෙන අයට කියලා මම දන්නවා. ඒත් මට පිස්සු නැහැ. පිස්සෝ තමන්ට පිස්සු නැහැ කියලා කියන බවත් මම දන්නවා. යනවට නෙමෙයි, ඇත්තටම ඔලුව හැරුණු අතේ යන්න පුළුවන්ද? ඔන්න අපේ පාර දිගේ කෙළවරට මුලින්ම ඇවිදගෙන යන්න වෙනවා. තාම ටික ටික සීතල තියෙන නිසා කබායක් ගෙනියනවද.. නිකම්ම ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් යනවද? සෙරෙප්පු වත් නැතිව යනවාද.. අයියෝ.. ඔලුව හැරුණු අතේ යනවානම් මේවා හිතන්න ඕන නැති වෙන්න එපායැ. ඔන්න ඔහේ යනවා.. ගෙවල් දෙකකට එහා ඉන්දියන් ගෑනු කෙනා තිස්සෙම පාර බලාගෙන ඉන්නේ.. කාව හරි කතාවට අල්ලා ගන්න. එයාගෙන් මිදෙන්නේ කොහොමද? බිම බලාගෙන යනවා. කතා කළත් ඇහුනේ නැති ගානට. හැමෝම මාව හොයද්දි ඒ ගෑනි වත් කියන්නේ නැතෑ අහවල් වෙලාවේ අහවල් විදිහට ගියා කියලා. ඇත්තටම මම මේවා හිතන්නේ මොකටද? තාම පාරෙන් එහාට වත් ගියේ නැහැ!

අපේ පාර මහා පාරට වැටෙන තැනම තියෙනවා බස් නැවතුම. ඒකෙන් බස් එකක් ගන්න පුළුවන්. ඒත් එතකොට ඔලුව හැරුණු අතේ යනවා වෙන්නේ නැහැනේ. බස් එකේ ගමනාන්තය මගේ අරමුණ වෙන්නේ නැද්ද? බස් එකේ ටිකට් මැසිමට දෙන්න මාරු කාසි ගෙනියන්න වෙනවා නේද? ගෙදර මාරු කාසි තිබ්බද? ඔන්න ආයෙත් ඉතින් මම සිල්ලර දේවල් හිතනවා.. හරි බස් එකේ නැග්ගා කියමු. බස් එක අන්තිමට නවත්තන්නේ ස්ටේසමේ. එතැනින් නම් ටිකක් විතර ලේසියි ඔලුව හැරුණු අතේ යන්න. කෝච්චි කීපයක්ම යන එන තැන නේ. ලොකු නගරෙනුත් එහාට ඔලුව හැරුණු අතේ යනවාද? ඊට පොඩ්ඩක් මෙහාට යනවාද? අයියෝ එතනත් ටිකට් මැසිමක් තියෙනවානේ. ඒ කබලට විස්සේ කොල දාන්න බැහැ. ආයෙත් එළියට එනවා. ගිය බදාදා මම විස්සේ කොළයක් දාලා...නෑ නෑ ඒවා වැඩක් නැහැනේ. මම මේ ඔලුව හැරුණු අතේ යනවානේ. කොහොම හරි කෝච්චියක නැග්ගා කියමු. දුරම යන එකක. අවේලාවක ගියොත් වාඩිවෙන්න නම් ලැබේවි. නැත්නම් දුර යනකොට කකුල් රිදෙනවනේ. බඩගිනි වෙයිද මට? කෝච්චියට නගින්න කලින් මොනවා හරි කන්න ගන්න තිබුණාද? මේවා එකක් වත් හිතන්න ඕනද? හිතන්න ගියහම තව දේවල් මතක් වෙනවා. මම ඔළුව හැරුණු අතේ ගියොත් මගේ රෝස පැළ ටිකට වතුර දාන්නේ කවුද? ඒවා හොඳට අතු බෙදෙනකම් වතුර දාන්න කියලයි මල් පැළ කඩේ මනුස්සයා කිව්වේ. අනේ අපරාදේ මැරිලා යයිද? ඇයි අර හැමදාම පාන් කෑලි කන්න එන සුදු කොකටූ ගිරා ජෝඩුව! උන් දෙන්නාට පාන් දෙන්නේ කවුද? පොඩ්ඩක් පරක්කු වුණත් හරි ගෝරනාඩුව කෑම ඉල්ලලා... එක්කෝ ඔන්න ඔහේ මම ගෙදරම ඉන්නවා...රෝස පැළ ටිකත් තාම පොඩියි.. ගෙදර මාරු කාසිත් නැහැ..අනිත් එක මට පිස්සුත් නැහැනේ.

Thursday, December 1, 2011

first day of summer

රාත්‍රිය නොඑළඹී
දිගම හැන්දෑවක්
ලා අඳුරේ මඟ හොයන
එක කදෝකිමියෙක්
මොහොතකට හිත පොඟා
යළි දුවන වැස්සක්
සුසුම් මෙන් බර නැතත්
පුංචි පවනැල්ලක්!

Wednesday, November 30, 2011

රටා නැති















කවුළුවේ හීතල
දැනෙන විට මා කොපුලට
මතක් වෙයි හෙමිහිට
වරුවක්ම මෙතැන උන් බව
හුස්මකින් මීදුම
බැඳුණු වීදුරු මතුපිට
ඇඟිලි තුඩගින් අඳිනෙමි
රටා නැති රටාවක් හැඩ

Monday, November 28, 2011

නැවත

මුළු සීත කාලයේ
නිහඬවම උන්නු ගස
අලුත් පත් සොලවමින්
සුළඟ හා ගයන හැඩ!

Saturday, November 26, 2011

පුංචි යකා

පුංචි යකා හිටියේ කොට්ටම්බ ගහේ තුන්වෙනි දෙබලේ. අඟල් හයක්වත් නැතිවුණාට නෙරපු බඩගෙඩියයි, කොට මහත කකුල් දෙකයි නිසා ටිකක් භයංකර පෙනුමක් තිබ්බා. ගොඩක් නෙමෙයි- පොඩ්ඩක් විතර. සමහරවිට කට දෙපැත්තේ තිබුණ ඇබින්දන් දළ දෙක හින්දා වෙන්නත් ඇති. දෙබලේ තිබ්බ පොඩි බෙනේ තමයි පුංචි යකාගේ ගෙදර. එහෙම කිව්වට බෙනේට ගියේ මොරසූරන වැස්සකදී විතරයි. ගොඩක් දවස්වලට රෑට නිදාගත්තෙත් අත්තක් උඩ තරු දිහා බලාගෙනයි. මොකෝ කාටවත් පෙනේවි කියලා බය වෙන්ටයැ. පුංචි යකා සහසුද්දෙන්ම දැනගෙන හිටියා කාටවත් තමන්ව පෙන්නේ නැහැ කියලා. කොට්ටම්බ ගහ පාමුල තිබ්බ ඇනෙක්සියේ නතරවෙලා හිටිය ගෑනු ළමයි ටිකවත්, ඊටම අල්ලලා තිබුණ ගෙදර හිටිය බෝඩිමේ ඇන්ටි වත් පුංචි යකා දිහා කණ ළඟින් ගියත් බලලාවත් නැහැ. ඒ හින්දාම කට්ටියම සමගි සමාදානෙන් හිටියා. පුංචි යකාගේ හිතේ පුංචි අරෝවක් තිබ්බේ බෝඩිමේ ඇන්ටි එක්ක විතරයි. ඉඳලා හිටලා කවුරුහරි ලවා කොට්ටම්බ ගහේ අතු කප්පවන එකට. ඇනෙක්සිය පැත්තට පොඩ්ඩක් බර වෙලා වැඩියි නම් තමයි ගහ. ඒත් එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අතු කපන සිරිතක් තියෙනවද? පුංචි යකා ඉඳලා හිටලා අත්තක් උඩ ඉඳන් කොට්ටම්බ ඇටේකින් පල්ලෙහා අතුගාන ඇන්ටිගේ පස්ස පැත්තට ගහන්නෙත් ඒ කෙන්තියටමයි. ඒත් ඒක එතැනින් ඉවරයි. ඔය තරහ මරහා වැඩිය හිතේ තියාගෙන ඉන්න ජාතියේ යකෙක් නෙමෙයි පුංචි යකා.

ඔක්කොම වෙනස් වෙන්න පටන් ගත්තේ සුජානි බෝඩිමේ පදිංචියට ආවාට පස්සෙයි. පුංචි යකා නම් දැනගෙන හිටියෙත් නැහැ පල්ලෙහා බෝඩිමේ වෙනසක් වුණු බව වත්. දවසක් හොඳට තරු එළිය තිබ්බ රෑක, පුංචි යකා බඩ පැලෙන්න කොට්ටම්බ මද කෑම වේලක් එහෙම දාලා ගහේ බඳට හේත්තු වෙලා අත්තක් උඩ කකුල් දෙක පද්ද පද්ද හිටියා බොහොම නිස්කාන්සුවේ. ගංගොඩවිල කිව්වට ගමක්වත් ගොඩක්වත් විලක්වත් පළාතක නැති නිසා මේ පැත්ත හරි ග්රීස්මයි. ඒ නිසා පල්ලෙහා බෝඩිමේ ජනෙල් වැහෙන්නේ හුඟක් රෑවෙලා. ජනේලෙන් අලුත් මූණක් එබිලා තරු දිහා බලාගෙන ඉන්නවා, ලයිට් එළියෙන් පුංචි යකා දැක්කා. ඒ මොහොතේම වගේ ඒ මූණත් පුංචි යකා දිහා බැලුවා. තමන්ව නොපෙනුණත් අවේලාවේ කාමර වල ඉන්න ගෑනු ළමයි දිහා බලන එක අසන්වරයි කියලා යකෙක් උණත් පුංචි යකා දැනගෙන හිටියා. අහක බලන්න හදනකොටමයි යටිගිරියෙන් කෑගහනවා ඇහුණේ. "ෂුවර් එකටම අදත් පොල් බෑය යට කැරපොත්තෙක්.." පුංචි යකාට හිතුණා. ඒත් එක්කම දැක්කා බෝඩිමේ ගෑනු ළමයි තුන්දෙනාම ජනේලේ ළඟ රොක්වෙලා ඉන්නවා. අලුත් ගෑනු ළමයා පුංචි යකා පැත්තට ඇඟිල්ල දික්කරනවා. අනිත් දෙන්නා උඩ බිම බලනවා
.

."පිස්සුද සුජානි? මොන යකෙක්ද? මම ඔයාට කිව්වා ඔච්චර පාන්දර වෙනකම් පාඩම් කරන්න එපා කියලා" නිලූ ගස්සාගෙන යන ගමන් කිව්වා.

"ඔව් අනේ.. දැන් ඉක්මනට කාලා නිදාගන්න" මන්ජුලාත් කිව්වා.

පුංචි යකා හිමින් සැරේ බෙනේට රිංගුවා. ඒත් පපුව ඩිග් ඩිග් ගානවා. ඇත්තටම ඒ ළමයා තමන්ව දැක්කා වෙන්න පුළුවන්ද? එහෙනම් අනිත් අය නොදැක්කේ කොහොමද? මෙච්චර කාලෙකට කිසිම දවසක් නොවුන දෙයක් එකපාරට වෙන්න පුළුවන්ද? ටික දවසක් යනකම් පුංචි යකා බෙනේටම වෙලා හිටියා. අත්‍යවශ්‍ය දේකට තමයි එළියට ආවේ. කොහොමත් උදේ අටෙන් විතර පස්සේ හවස් වෙනකම්ම පළාතටම මනුස්ස ප්රානයකට ඉන්නෙ බෝඩිමේ ඇන්ටි විතරයි. ඒත් පුංචි යකාගේ හිත ගැස්සුණා එදා වුණ වැඩේට.

 ඔහොම සතියක් විතර ගියහම පුංචි යකාටම හිතුණා මේ මොන විකාරයක්ද කියලා. ඇන්ටි රෙදි වනද්දී පේන්නම ඉඳන් කොට්ටම්බ ඇටේකින් ගහලා බැලුවා. කොහෙද.. ඇන්ටි උඩ බැලුවා මිසක් ළඟම හිටිය පුංචි යකාව දැක්කෙත් නැහැ. "මගෙත් විකාර!" පුංචි යකා තමන්ටම කියලා හිනාවුණා. "එදා වෙන මොකක් හරි වෙන්න ඇත්තේ.. ගෑනු ළමයින්ගේත් තියෙනවානේ එක එක මනස්ගාත". ඔහොම හිතලා හිත හදාගත්තා.

ඒත් හීනෙන් වත් නොහිතපු දෙයක් තමයි ඊළඟ දවසේ උණේ. දවාලේ පුංචි යකාගේ බෙනේට හිකනලෙක් රිංගලා. කෝටුවකුත් අරගෙන ඌව එළවාගෙන යද්දී ඉස්සරහටම හම්බවුණේ සුජානිව. පුංචි යකා ගල්ගැහුණා. ඇයි දෙයියනේ මේ ළමයා උදේ අනිත් අයත් එක්ක ගිහින් නැද්ද? සුජානිගේ අතේ කොත්තමල්ලි පැකට් එකකුයි ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකුයි. නිකම් අසිහියෙන් වගේ පුංචි යකාට හිතුණා අදත් කෑගහයිද කියලා. ඒත් සුජානි කෑගැහුවේ නැහැ. බිමටම පහත්වුණා. හිනා වුණා. පුංචි යකා තාම ගල් ගැහිලා. "මම දැනගත්තා මම එදා ඇත්තටමයි යකෙක්ව දැක්කේ කියලා" සුජානි තමන්ටම වගේ කියාගත්තා. කටහඬේ සද්දේ ඇහුණහමයි පුංචි යකාට සිහිය ආවේ. පස්ස බලන්නේ නැතුව දුවලා දුවලා ගිහින් බෙනේටම රිංගා ගත්තා.

 තමන්ගේ හිතේ බයක් නැතිවෙන්න ගත්තේ හරියටම කවදාද කියලා පුංචි යකාට මතක නැහැ. සුජානි තාප්ප කෑල්ල උඩ පීරිසියක දාලා අළුවා කෑලි දෙකක් තිබ්බ දවසේද? එහෙම නැත්නම් ආයෙත් දවසක අහම්බෙන් රෑක දැක්ක වෙලාවේ යාළුවෙකුට වගේ හිනාවෙලා අත වැනුව දවසේද? එහෙමත් නැත්නම් කාමරේ ඇතුළේ බඩු එහේ මෙහේ කරලා ලියන මෙසේ ජනේලේ ළඟට ගෙනාව දවසෙද? කොහොම හරි සුජානි තමන් ගැන ආයෙත් කාටවත් කියලා නැති බවයි, එයාගෙන් හානියක් නැති බවයි පුංචි යකාට තේරුණා. සුජානිගේ සැලකිලිවල, අත වැනිලි වල පොඩි විශේෂයක් දැනෙන්නත් ගත්තා. වෙනදාට වඩා කාමරේ පැත්ත බැලෙන්නත් ගත්තා.

දවසක් හවස පොඩි නින්දක් දාලා ඉන්දැද්දී හීනෙන් වගේ පුංචි යකාට කටහඬවල් ටිකක් ඇහුණා. හරියටම ගහ යටමයි. "තනියම හිනාවෙනවා.. අත වනනවා.. කවුද ඇන්ටි හිතන්නේ..පීරිසියක දාලා.. මේසේත් ජනේලේ ළඟ.. යකෙක් ගැන .. ලෙක්චර්ස් වෙලාවටත් වෙන සිහියක..අයියාගේ නොම්බරේ...නොකියා බැහැ වගේ..අපි නරක මිනිස්සු වෙයි.." එහෙන් මෙහෙන් ඇහුණු වචන නිදිමතේ හිටිය පුංචි යකාගේ ඔළුව ඇතුළේ හරියටම ගැළපුණේ නැහැ. ඒ කථාවේ සුජානිගේ කටහඬ තිබ්බේ නැති නිසා පුංචි යකා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.

දවස් දෙකක් යන්න කලින් උදේක කාර් එකක් ඇවිත් ගේට්ටුව ළඟ නැවැත්තුවා. පිරිමි කෙනෙකුයි වයසක ගෑනු කෙනෙකුයි ඇනෙක්සියට ගියා. ටික වෙලාවකින් සුජානි සූට්කේස්එකක් අරගෙන ඒගොල්ලොත් එක්ක කාර් එක ළඟට ගියා. බෝඩිමේ ඇන්ටිත් අනිත් ගෑනු ළමයි දෙන්නත් කොට්ටම්බ ගහ යට බලාගෙන හිටියා. සුජානි ඒගොල්ලෝ එක්ක වචනයක් වත් කතා කළේ නැහැ. ඒත් ගේට්ටුව ළඟට ගිහින් දෙබල උඩ හිටිය පුංචි යකා දිහා එක එල්ලේම බැලුවා. හිනාවෙලා අත වැනුවා. ඊටපස්සේ යන්න ගියා. එදාමයි පුංචි යකාට හිතුණේ වෙන ගහක් හොයාගන්න ඕන කියලා. මේ ගහ ගෙටත් බරවෙලා වැඩියි. කොයි වෙලේ කපා දායිද දන්නෙත් නැහැ ..පුළුවන් නම් ගොඩක් දුරක තියෙන ගහක්... මිනිස්සු නැති පළාතක.

Published in Dinamina- 04. 11.2011

Thursday, November 24, 2011

දුර

කවුළුවෙන් පෙනෙන ඉම
විසල් තණබිමක් ඇත
සේලයක් සේ වැස්ස
ඇද වැටෙන දවස් ඇත
දුර ඈත නෙත රැඳෙන
ඉසිඹුවන් බොහෝ ඇත
වැහි නැතත් වැහි වැටෙන
දිලිසෙනා දෙනෙත් ඇත

Wednesday, November 23, 2011

වැහි


සුන්දරයි මේ වැස්ස
මල් පොකුරු පිස වැටෙන
තුරු වදුල සෙවන දී
අපව ඉඳහිට තෙමන
මලක් නටුවෙන් මිදී
දෙපා මුළ හිස තබන
අතරමං වැහි බිඳක්
නුඹේ නළලත රඟන 

 

Tuesday, November 22, 2011

busy

නෙතු රිදෙන මානයේ
මා නොදැක, නුඹ හිඳින
ඇඟිලි තුඩු අගින් හිස
යළි යළිත් අවුල්වන
ඇදුම්කන නෙතු සඟල
වසා මොහොතක් සිතන
සුසුම් නොහෙලා හැරෙමි
හෙටයි හිනැහෙන දවස

Saturday, November 19, 2011

මුද්ද

ඉස්ඉස්සෙල්ලාම මුද්දක් ගන්න යද්දී ඇස් ගිනි කන වැටිලා තිබ්බේ. කඩේදී නෙමෙයි.කඩේට යන්න කළින්ම. වෝග් එකේ වාඩිවෙලා වටපිට බලද්දී නිකම් කලන්තේ වගේ දැනුනා. ඒ තරමට මෝස්‌තර. අන්තිමට වරුවක් ගිහින් එකක් තෝරා ගත්තා. උදවු කරපු ගෑනු ළමයා මූණේ ගැලවෙන්නේ නැති හිනාවක් අලවාගෙන මයි හිටියේ. මට ඒ වෙලාවෙත් හිතුනා මොකද මෙයා මෙතරම් හිනාවෙන්නේ කියලා. ඒත් හරියටම තේරුනේ නැහැ. "මේ ඇඟිලි හරි පුංචියි නේ!" ඈ කිව්වා. "ටිකක් ලොකුවට මුද්ද හදාගන්න". ඈ දැනුම් තේරුම් ඇතිව කිව්වා නිසා අපි එකඟ වුනා. අන්තිමට මුද්ද ගන්න යන දවසේ මුද්ද දාපු පෙට්ටියත් එක්ක සහතිකයකුත් ලැබුණා. "මුද්ද ඕනෙම දවසක අපි ආයෙත් ගන්නවා- අල්ලපු ගල් වල සම්පුර්ණ වටිනාකම එදාට දෙනවා". ඈ සහතිකය පැහැදිලි කළා- අර අලවපු හිනාව පිටින්ම. හිනාව වගේම සහතිකේ තේරුමත් මට තේරුනේ නැහැ. ඒත් ඒවා ගැන හිතන්න වෙලාවක් තිබ්බෙත් නැහැ.
.
ඔහොම ගිහින් මුද්ද ඇඟිල්ලට වැටුණා. ලොකුවට හදාගත්තට මොකද මුලදී මුද්ද හරි බුරුලයි. කමිස පොඟන්න දාපු බේසම ඇතුලෙම දවස් දෙක තුනක් නැතිවුණා. "ඒක වත් පරෙස්සම් කරගන්න බැහැනේ"කියලා හැමෝම බනීවි කියලා හරිම අමාරුවෙන් මම ඒක බලාගත්තේ. ගලවලා තියන්නත් බැහැ දාගෙන ඉන්නත් බැහැ. ඒත් ටිකක් කල් යනකොට මුද්දේ ගානට ඇඟිලි මහත් උනා. තවත් ටිකක් කල් යනකොට මුද්දේ ගානටත් වැඩිය ඇඟිලි මහත් උනා. මුදු කඩේ ගෑනු ළමයාගේ කතාවේ ඇත්ත තේරුණේ එතකොටයි. ඕනේ වුනත් දැන් නම් ගලවන්න බැහැ. මුද්ද දාපු ඇඟිල්ල, මුද්ද යට හීනි වෙලා. සුදුමැලි වෙලා. හරියට එතනට ලේ පිරෙන්නේ නැහැ වගේ. දවසක් ගවුම් පොඩි වල මල් මහද්දී එතන ඉඳිකටුව ඇණුනා. ඒත් පුදුමෙකට එතන කිසි හැඟීමක් දැනීමක් නැහැ. මට හදිස්සියේ මතක් වුනා මුදු කඩේ ගෑනු ළමයාව. ඈත් මුද්දක් දාගෙන හිටිය බව. මම ඈ වගේ හිනාවක් මූණේ අලවාගන්න බැලුවා. අමාරුම නැහැ. ලබන මාසේ නංගි යනවා එයාගේ මුදු තෝරන්න. එයාටත් කියන්න ඕනේ මුද්ද ලොකුවට හදාගන්න කියලා. . අර සහතිකේත් ඉල්ලගන්න කියලා. පස්සේ බැරියැ මූණේ හිනා අලවන්නේ කොහොමද කියලා කියලා දෙන්න

කළු- සුදු

නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා.නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා.සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.

"මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න ... බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ.."
හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහල ඉන්න මිසීලා, සර්ලා බාලාංශේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.

නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා. සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්. ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිළ ඇඳුම වගේ කොට කලිසම මයි ඇන්දේ.

"ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න.."

කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.

සිරිදාස අයියාට නයිස් මුණ ගැහුනේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න "නයිස්..නයිස්..!!" කියනවා ඇහිලා, පෙරලාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔලුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔලුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට අතකුත් ලෙවකෑවා.

නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවුණ ළමයෙක්ව "වගකීමක් නැහැ!" කියලා බැනලා එලවා ගත්තා. ඒත් හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිණි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළා. කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශේටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් එකට විරුද්ධ නොවුණේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.

"ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!" දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. "ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!" කොල්ලෝ එදාට එකිනෙකාට විහිලු කරගන්නවා. ඒත් මේ සැරේ නම් කවුරුවත් විහිලු කළේ නැහැ. "එතකොට නයිස්?" හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ. " උපකුලපතිගෙන් අහලා බලමුද?" එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙලින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චන්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ."මට බැහැ මට ගිය සතියෙත් බැන්නා.." "හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ" එක එක්කෙනා පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට ඔක්කොමලාව නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උනා.

"මොකා..නයිස්???" ඇහුව ගමන් සිරිදාස අයියා ඇඟට කඩාගෙන පැන්නා.
"නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි.."
"මම කාටවත් කෑම දෙන්නේ නැහැ... දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??" සිරිදාස අයියා ගෝරනාඩු කළා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.
"ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ.."
එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.
" ආ ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා." සිරිදාස අයියා අහක බලාගෙන හිමින් කිව්වා.
"කියනවා එහෙම නෙමෙයි කාටවත්..දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!" ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.

ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී බනින එක නම් ඉබේම වගේ අඩු වුණා.

Friday, November 18, 2011

time zones

මීදුමේ මඟ සොයා
දුර ඇදෙන හැමදාම
නුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවා
දහස් ගව් දුර ඇතත්
කෙහෙරැල්ල අවුල් කර
මොහොතකට නුඹේ හිස සිඹිනවා

ඉර බහින හවස් කල
උණුහුම්ම තේ සමඟ
නුඹේ සිනා මතකයක් එබෙනවා
නුඹ සිටින දහවලේ
එක පුංචි හුස්මකින්
නළලතේ ඩා බිඳිති මකනවා

රැයේ මැදියමට පෙර
නිදි නෙතට නුඹ පැමිණ
සිහින මැද වෙහෙසවී පෙනෙනවා
විඩාබර දෙනෙත වෙත
එළි බිඳක් ගෙන එන්න
සිනහවක් වී දෙතොල රැඳෙනවා

Thursday, November 17, 2011

මිතුරු

පෙනෙන නොපෙනෙන දුරින්
හිතේ මුල්ලක නිදන
නුඹ නොආ හැමදිනම
ඇඟිලි තුඩගින් අනින
මතක අහුලා ගෙනත්
හිත මැදම ගොඩගසන
තනිකමත් සුමිතුරෙකි
මා දමා දුර නොයන

Wednesday, November 16, 2011

අදිසි

හිරු කෙඳිති එකතු කර
අවුල් කෙහෙරැල් බඳිමි
දස අතම ඇවිද ගොස්
මල් කැකුළු කිති කවමි
තුරු මුදුන් හිනස්සා
වියලි පත් බිම හලමි
ආ මඟක් උන් තැනක්
ලකුණු හංගා මැකෙමි

Monday, November 14, 2011

wish upon a star

ගලපන්නටත් පෙර පැතුමක්
ගිලිහුණා ආකහෙන් තරුවක්

ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
නාස් කොණ තබද්දී හාදුවක්..
දිලිසුණා දඟ දෑස පතුලතේ
තරුවත්.. නොපැතූම පැතුමත්!

Thursday, November 10, 2011

යළිත්

බිඳී ගිය රළ නැතත්
තව රළක් සෙමෙන් විත්
මුතු කැටක් තබනු ඇත දෙපා මුල..

දෑස ළඟ නොපිපුණත්
පිපෙනු ඇත තව මලක්
දුරක තුරු හිසක, කොඳුරමින් නම..

කල්පයක් ගත වුවත්
නව සිහින යළි මැවෙත්
දැවී හළු වූ පැරණි පැතුම් මැද..

සුන්දරයි හෙට දිනත්
සිනහ ගෙන එන යළිත්
අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග..

Sunday, November 6, 2011

වැහි


















තනි නිල් විසල් ගගනත
කළඹා ඇඟිලි තුඩ'ගින
කවි අකුරු සඟවා යමි
වළා යැයි නුඹ රැවටෙන

වසන්තයේ කෙළවර
වළාකුළු අකුලන විට
නුඹේ පාමුළ ගිලිහෙයි
වැහි බිඳිති වී කවිකම

Saturday, November 5, 2011

never to be

නොපතන්න කිසි දින
හිත හදාගෙන උන්නද
සතුට ළඟ දුක ළඟ
නුඹ සොයයි නෙත හැමතැන

එවන් දිනයන් හැම
නෙතේ කඳුළුද හිස් කර
හිමි අහිමි කම් ගැන
කොඳුර පාරයි හදවත

Friday, November 4, 2011

තටු

සොයා හදවත හරි මැද
වපුල නෑඹුල් බිජුවට
නඟා අංකුර හෙමිහිට
තටු මැවිණි උර තල මත

බියෙන් වක් වූ පියපත
සෙමෙන් සෙනෙහෙන් පිරිමැද
දුර අහස වුව ළඟ බව
රහස් තැබුවා සවනත

ගිලෙන විට කඳුලැලි ගඟ
සෙමෙන් තුරුලට අරගෙන
පියාඹන හැටි මුලසිට
කියාදුන්නා මතකද?

පියාපත් සවි වී අද
සරන සඳ මා පැතූ නුබ
නුඹේ සිනා මිස දුර සිට
තවත් දිනුමක් නැහැ මට

Friday, October 28, 2011

හිනැහෙමි

අතොරක් නැතිව කියවමි
එහෙත් කිසිවක් නොකියමි
කඳුළු ඉඳහිට සඟවමි
නුඹ නොදත් විට තුටු වෙමි

අකුරු එක එක අමුණමි
නුබ පුරා අතහැර යමි
කවි මැවෙනු දැක හිනැහෙමි
තරුයි නුඹ හට පෙන්වමි

දින දසුන් කිසි නොතකමි
සිනහසුණ දින හඳුනමි
උණුහුමක සිත සතපමි
කඳුළු බිඳුවක් සුරකිමි

Thursday, October 27, 2011

අන්තිම

දවස තිස්සේ හැලුණු
මහා වැස්සෙන් පසුව
අන්තිමම වැහි බිඳත්
පැද්දෙමිනි,මලක් අග

"හෙට අරුණ හිරු කිරණ
හාදුවක සැඟවෙමිද..?
ගලන බොර දිය පහර
කිමිද පිහිනා යමිද..?"

Wednesday, October 26, 2011

ගොළුබෙලි

ඔන්න,
ආව ගිය මඟ දිගට
ඇලවිලා සඳ එළිය තීරු!!

Sunday, October 23, 2011

හීනය!















තණබිම පියමැන
හොරැහින් බලමින
මීදුම එයි දුර
මන්දාරම මැද..
සීතල අත් තල
උණුහුම් කොපුලත
දවටා හිනැහෙමි
නුඹ මගේ හීනය!

Friday, October 21, 2011

එනතුරු

වහීවිම යැයි හිතුවත්
වැහි අඳුර විතරයි නුබ
විසල් ගස යට බංකුව
වියළි පත් පොරවන් අද..
පැණි කුරුළු බඳකින්
ගිලිහුණු පුංචි පියපත
සුසුම් පහරක පැටලී
සුළඟ යැයි රැවටුණු රඟ!

Thursday, October 20, 2011

I am here

දේදුනුත් හිඟ කාස්ටකයට
පාට ගෙන එමි මතක දියකර
විඩාබර නෙතු පියන් මතුපිට
හාදු තවරමි සීත දෙතොලින
පහුරු ගානා ඉරුවාරදයක
විස උරාගමි ඇඟිලි තුඩු වෙත
ඉර හඳත් දුර පුංචි ලෝකෙක
උරහිසක්‌ දෙමි නුඹේ සුසුමට

Wednesday, October 19, 2011

සුළඟ

සුළඟ ඇවිදින් උදයේම
තබා අත්සන වැලි මත
රතු ලදලු කලබල කර
මල් පියලි ගෙන නික්මිණ

වළා අතුරා ආ මඟ
රහස් පිඹ පිඹ හැම අත
දූලි තිර පට දිග හැර
ආව සැණෙකින් සැඟවිණ

Thursday, October 13, 2011

කියාවිද?


සැනෙන් සසැලෙන
දෙනෙත් රවටන
වළා සිතියම ඇඳෙයි නුබ තල
බලා සිටියොත්
කඳුළු එන තුරු
කියාවිද මට නුඹ හිඳින තැන?

රහස් නොකියන
සීත පොරවන
සුළං රැළි මේ හමයි හැම අත
සඟවා ගතහොත්
දෑත එක්කර
කියාවිද නුඹ යළිත් එන දින?

Tuesday, October 11, 2011

in the moonlight

එක් කර පිණි බිඳු
මල් කෙමි ඔඩමට
තැනු මී මදිරා බී මත්වී
සඳ රැස් තැන තැන
වැතිරී නිදි අද
මල් පෙති පොරවා උණුහුම් වී

Sunday, October 9, 2011

හුරු

ඉඳහිටක හඬවන
හැඬූ කඳුළුත් පිසලන
සිනහ මල් පළඳන
සුසුම් පිඹ යළි විසුරණ

හදවතේ සිව් කොන
ඇවිද මුල්ගල් සිටුවන
කටු ඇනුණු තැන් දැන
හෙමින් මල් පොඩි පුබුදන

ඇඟිලි තුඩු සිපගෙන
කවි බිඳිති පැළකර යන
නොකියනා වදනින
කතා දහසක් මුමුණන

ආදරෙයි නොකියන
හිතේ මැද උණුහුම් වෙන
පෙර පුරුදු සුවඳින
දිවිය පුරවා සැඟවෙන

Thursday, October 6, 2011

රූ

දෙතොල හරහා
ඇඟිලි තුඩගින්
අඳිමි මතකෙන් සිනහ සලකුණු
දෙනෙත ගැඹරෙහි
කිමිද මොහොතක්
සොයා යන්නෙමි මතක විසිතුරු
අවුල් කෙහෙරැළි
අතර පැටලී
සුළං රැළි වෙමි සිඹින නිරතුරු
රුවක නතරව
අතරමං වෙමි
සිහිනයක් වී හෙටත් එනතුරු

Tuesday, October 4, 2011

පණිවිඩය












අතින් අදිනා දිය රැළිති හා
යා යුතුව ඇත බෝ දුරක්
බිඳක් නතරව නුඹ අසල හිඳ
රහස් ලෙස පවසමි යමක්
අතු පතර නැලෙවෙද්දී පෙරදින
මගේ ළඟට වී ගී අසන්
මගේ කොපුලත හාදු තැවරූ
පතක් ඇත තව මඟ බලන්
හෙට දිනෙක ඈ ආවොතින්
මේ ගං දියේ මා ගැන සොයන්
කියනු පෙම ලොව සදාකල් බව
අපට අප හිමි නැති උනත්

Sunday, October 2, 2011

වැහි

දුර අහස ඇතිරුණ
වැහි බීරුමක සලකුණ
දම් පැහැම පුරවයි
බැලු බැලූ හැමතැන
අඳුරු වී යැයි රැවටුණ
සියොත් කැල තැතිගෙන
සෙවණක් සොයා පියඹති
ආ ගමන් අමතක කර
කුසීතව සැඟවුන
හිරු, පුංචි එළියකි දුර
වළා යහනක සැතපී
නේන බව වත් නොකියන

Saturday, October 1, 2011

සලකුණු

මතකය මිස සැමරුම් නැති
පැතුමන් මිස සලකුණු නැති
නෙත පතුලත දිලිසුම මිස
නුඹ ගත් ඉඩ ලොව දන්නැති


-

Friday, September 30, 2011

so very far

නුඹ උරයේ උණුහුම් තැන
අමතක වූ සුසුමක් ඇත
වදනට නොහැරි දහසක්
රහසේම එහි ලියැවී ඇත
වැසූ කළ වුව නෙතු පිය
අවදිවන සේයා ඇත
සිනහා බිඳු ගෙන කැලතූ
නුඹේ ඇඟිලි සලකුණු ඇත

Thursday, September 29, 2011

වැස්සට පසු


















දුර ඈත ඉසව්වෙන්
පාව ආ වැහි කෝඩේට
පෙති හොඳටෝම තෙමුණත්
කිසිත් නොකියා උන්නෙමි

හිස නමා බිමටම
රහස් පවසා සුළඟට
වැහි දියේ කඳුළු හංගා
කිසිත් නොකියා උන්නෙමි

හිනා අහුරක් අරගෙන
යළිත් හිරු පෑයූ දා
කඳුළු විසිකර මතකෙට
පෙර මඟට වී ඉන්නෙමි

මහා වැස්සට තෙමුණත්
නොහංගා පාට බිඳකුදු
පැතුම් දහසක් අතැතිව
මඟ බලාගෙන ඉන්නෙමි

Tuesday, September 27, 2011

මොහොතක්!

වළාකුළු පියල්ලක
තවරද්දී රන් පැහැය
හිරුගේ පින්සල මතින්
බිඳක් ගිලිහිණි බිමට
නිදන රත් පැහැ මලක
පුංචි සමනල බඳක
රැළි නගන දුර විලක
රන් පැහැය විය සැනෙක
අඳුර සළුපිළි රැගෙන
වසන්නට පෙර දසත
රන් පැහැති මතකයක්
දිලිසුනා මොහොතකට

Tuesday, September 20, 2011

යළිත් ආ විට

කල්පයට පසුව එන
එකම එක ඉසිඹුවට
ඇඟිලි ගණිනා විටෙක
කඳුළු වැඩි නැහැ මට

පා තබන අතරතුර
සිහිනයෙන් සිහිනයට
දුර බලා නුඹ සිටියි
නොදුටු සිහිනයේ කොණ

හිතේ නුඹ අමතකව
තබා ගිය අත් ලකුණ
මකන්නට නොහැක මට
කඳුළු තවරා වුවද

හෙටක නූපදින කවි
පණ පොවා සුසුම් පිඹ
දෑතේ ගුලිකරන්නම්
යළිත් ආ විටක නුඹ

Monday, September 12, 2011

මුල්

මුලින් උපුටනු
නොහැකි බව දැක
ඇවිද ගිය විට මුල් සොයා
ඇට මිදුළු මැද
හදවතේ යට
දුටිමි මුල් රැස දිවූ නියා
උදුරන්න
තැත් දරන හැම විට
හදවතත් ගැලවෙන නිසා
නොදුටුවා සේ
බලා ඉන්නම්
තවත් මුල් අදිනා දිහා

Sunday, September 11, 2011

shades
















තව සය මසකින්
පැහැය වෙනස් වී
ගිලිහෙන්නට වුව
අතු අතරින්...
කොල පැහැ කීයක්‌
තවරා ගන්නේද
අලුතින් තම ගත
මේ තුරු වැල් ..

Saturday, September 10, 2011

මුතු හදමි

අතැර ගිය වැලි අහුරකින්
කැවේ සිත යට සියුම් තැන්
දුක දරා සුපුරුදු බැවින්
මුතු හදමි මම වැලි අරන්

යළිත් නුඹ ආවිට ඉතින්
මුතු තබමි අත්ලත පෙමින්
හැඬූ බව වත් නොම දැනන්
සිනාසෙනු ඇත නුඹ නිතින්

Thursday, September 8, 2011

පිළිබිඹු

හවස වට වැස්සට
ලිස්සලා විත් පොළොවට
මඩ කඩිති මතුපිට
සඳ පෙනෙයි බැලු බැලූ අත

Tuesday, September 6, 2011

නුදුරු

දිගු සීත කාලෙක
මතකය දෑත ගුලිකර
ලා දළු හෙමින් නැගිටියි
හෙටක රහසක් අරගෙන

පිසිමින් අලුත් මල් හැම
හැමූ තෙතබරි සුළඟක
සැඟවුණත් සුසුවඳ
මල්ම පූදී තව තව

Wednesday, August 24, 2011

unique













වැස්සකට පසු එන්න
හද සීත තවරන්න
වෙව්ලනා දෙතොල් අග
තුහින සුසුමක් වෙන්න...
අව්වකට පෙර යන්න
දිලිසිලා සැඟවෙන්න
අනුපම රටාවක්
හදවතේ ඇඳ යන්න...

Monday, August 22, 2011

ඉඩ

ඉතින් මට කියනවද
මට අයිති හිතේ ඉඩ?
පුංචි මල් ගහක්වත්
හිටවන්න පුළුවන්ද?
මල් පිපෙන්නට නැතත්
මුල් අදින්නට හැකිද?
තද සුළං කෝඩේකට
ඉදිරිලා නොවැටෙයිද?
කඳුළු දිය හිඟ නැහැනේ
ඉක්මනට දළුලයිද?
ලකුණු කර තියනවද
මට අයිති හිතේ ඉඩ?

Sunday, August 21, 2011

time zones

බැස යන හිරු ළඟ
මොහොතක් නතරව
අතහැර යන්නම්
එකමෙක සුසුමක්
නුඹේ ලොවට තව
හිරු හිනැහෙන සඳ
මගේ හීනෙට වත්
එනවාද පියමැන?

Saturday, August 20, 2011

පළමු

උණුහුමත් ගානටද
හරියටම බලන්නට
ගස මුලින් ඉපැද්දූ
පුංචි සුදු මල් කැකුළ...

තාම හරි හරියකට
ඉර එළිය නැතිවුනත්
හමන තෙත සුළං රැළි
පෙති මතම දඟ කලත්
හිත හදාගෙන තදින්
හිනැහෙනා මල් කැකුළ!

Thursday, August 18, 2011

ගිනි














ගිනි පුපුර දඟ කරන
හදේ අළු යට නිදන
සුසුම් සුළඟින් සැලෙන
දවන, ගිනිබත් කරන
නෙතු සරක පටලැවෙන
ඇඟිලි තුඩු අග රැඳෙන
සැනෙන් සියොළඟ වෙලෙන
නිවෙන යළි යළි දැවෙන

Wednesday, August 17, 2011

දුර සයුර

කඳු මුදුන පිපුණු මට
පෙනෙයි දුර ක්ෂිතිජ ඉම
සෑම සිහිනයක අග
දැනෙයි සයුරක සුවඳ
එකින් එක පෙති සිඳිමි
සුළං අත පා කරමි
හෙට දකින සිහිනයක
සයුර, මම නුඹ සිඹිමි

Monday, August 8, 2011

තුහින මලක්

තුහින මලක් මම
තණ අග සුපිපුණු
බලා හිඳිමි රන් හිරු රැස් එන මඟ
ඉන් එළි බිඳකට
මොහොතක් පෙම් කර
සැඟවෙමි දිදුලන මතකය පොදිබැඳ

Friday, August 5, 2011

යළි උපන්

මුල් ඇද්ද දා සිට
ආකහෙන් ලද දිය මිස
සෙනෙහසක් නොලැබූ බව
සාක්කිය ඉරිතැලි කඳ

අව්‍ වැසි සුළං හඳුනන
අකුණු සර ළඟ නොසැලෙන
ඍතුවෙන් ඍතුව ගතවෙන
දුර බලා නිති ඉවසන

රළු පරළු අතු අග
කිසිම දා මල් නොපිපුණ
බඹර ගුමුවක් නොඇසුන
තනිකමක් හා තනිවුණ

හිස තියා මුල් රැස මැද
බදා පහුරින් රළු කඳ
ලතාවක මිමිනුම් හඬ
ඇසුණි පැටලී සිහිනෙක

අහම්බෙන් මේ මඟ
ගියොත් නෙත රැවටෙනු ඇත
ලියවැළක සෙනෙහස මැද
මල් රැසක් දිලිසුණා තුරු හිස

Wednesday, August 3, 2011

මෙතැන තවමත් මම














දුර අවරගිර අග
අහස ගුගුරා හැලුනද
කඳුළු උතුරා ගැලුවද
මෙතැන තවමත් මම

අසෙනි මහා වැසි මැද
කඳුරු දිය ගොඩ ගැලුවද
කැකුළු නටුවෙන් මිදුනද
මෙතැන තවමත් මම

අඳුරට එළිය අරගෙන
නුඹ නෑවිත්ම උන්නද
ඇවිත් කඳුලැලි සින්දද
මෙතැන තවමත් මම

Tuesday, August 2, 2011

තව දුරයි

ලා පැහැති හිරු ඉරි
නිතරම කතා කෙරුවට
තණබිම තවම සීතයි
තුහින බිඳු දුර දිදුලයි

සීතලට බිය නැති
මල් පොඩි සිනා සැලුවට
වසන්තය තව දුරමයි
ඉවසන්න මට පුරුදුයි

Thursday, July 28, 2011

වස්සානයේ අවසන

මේ වස්සානයේ අවසන
තුරු මුදුන පිපි කුසුමක
මුදු පෙති අතර ලියැවෙයි
මේකුළට කී පණිවිඩ

ඉඳහිට අහඹු දවසක
කොපුලත තෙමන වැහි බිඳ
නුඹේ සිත ළඟ ගලපයි
මගේ කඳුලක මතකය

Tuesday, July 26, 2011

හදේ කොණක හිඳිමි

සෙවනැල්ලක
සැඟවී හිඳ
නුඹේ සිත ළඟ නැවතී
හිරු පුපුරණ
මද්දහනක
නුඹේ දාහය නිවමි

නුපුරුදු නෙත්
දහසක් මැද
සැඟව පෙනී නොපෙනී
මතකය දුන්
විදුලි ඉරක්
නෙත රවටා මවමි

සත් සමුදුර
දුර නැති සඳ
සිනහ බිඳක් එවමි
වෙහෙසී සිත
නොසොයන් මා
හදේ කොණක හිඳිමි

Sunday, July 24, 2011

මිලින


















කහ පැහැති දුම්රිය
විදුලි රැහැනින් දිවි ලද
යකඩ රෝදෙට දැනුනද
පණ නල සිඳෙනු කුසුමක?

එකම හුස්මට දිව යන
නිමාවක් නැති ගමනක
මොහොතක් මැවී පෙනුනද
පැතුම් ගොන්නක් මියැදුන?

ගැහැට පිරි ලොවකට
කඳුළු නොසිඳුනු නෙතකට
කහ පැහැති දුම්රිය
නුඹ විය එකම සැනසුම

හැමදාම යන එන මඟ
සිල්පර කොටං සිඹ සිඹ
රතු මල් පිපෙයි ගොන්නක්
පර නොවී මෙහි කිසිදින

Thursday, July 21, 2011

උදෑසන

හිනැහෙන විට නුඹ
කැල්මට සසලව
අලුයම අහසේ
තරුකැට මිලිනව

ගනඳුර දුරලන
පළමු අරුණ ඉර
ලෙස විකසිත වෙයි
නුඹ ළඟ මගේ සිත

මල්වල නිදිමත
පිස එන සුළඟක
දඟකම ගෙන එයි
නුඹ ගැන මතකය

Wednesday, July 20, 2011

නුඹ!

දෙතොලග
දැවටෙන
දඟ දෙන
හස නුඹ

හදවත
මන්මත්
කරවන
රස නුඹ

සිතුවිලි
කළඹන
නුපුරුදු
බස නුඹ

කවියක
පදයක
සැඟවෙන
යස නුඹ!

Sunday, July 17, 2011

සඳ එළිය

කවුළු දොර දිලෙන්නේ
දුර හඳේ සෙවනැල්ල
දුර වුවත් ළඟ වැන්න
ළඟ වුවත් දුර වැන්න

කවුළුවේ වැතිර ඇති
සඳ එළිය දහර මත
කඳුළු බිඳුවක් රැගෙන
යළි අඳිමි ඔබේ රුව

Thursday, July 14, 2011

ගඟ













මරේ ගඟ...

ඉවුරු ළඟ එක පෙළට
විලෝ තුරු හඬන,
දිය රැළිත් සසල,
කළු හංස පවුලක්ම
ආදරෙන් රකින,
ගඟ ඉහත තුරු හෙලූ
පත් හිසින් රැගෙන,
හෙමි හෙමින් ගලන...
පොඩි කවිත් කියන,
කලාතුරකින් දිනක
රුදුරු වී කිපෙන,
ඉවුරු බිඳ දමන,
කඳු කඩා හලන,
බොර වතුර වීසි කර
"මේ මමයි!" කියන,
දවස් දෙක තුන හඬා
ආයෙමත් නිදන,
කිසිත් නොවූ ලෙසින
කීකරුව රඟන,

මරේ ගඟ...
මා තුළත් ගඟක් වෙයි
නුඹ ලෙසම ගලන...

Wednesday, July 13, 2011

ලොවක් ඇත දුර

මතකයෙන් ගිලිහෙනා රූ හැම
උපදිනා තව ලොවක් ඇත දුර
මැකෙන පියසටහන්ද එක එක
එහි ළවැලි මත මැවෙයි නිතරම
දෙනෙත් පිස පිස ගැලූ කඳුලැලි
දොළක් වී එහි ගලයි බෝ දුර
සිත් සතන් මැද සැඟවූ පැතුමන්
මල් පොකුරු වී පිපෙයි තැන තැන

නුඹට මා අමතක වූ දවසට
මඟ සොයා යමි, හිස් පැසක් ගෙන
කඳුළු දොළ අස පුරුදු නිම්නෙක
මල් නෙලමි මම මාල ගෙතුමට

Tuesday, July 12, 2011

thinking of you

සිනාසෙන හැම විටක
විදිලියක් සේ හදෙහි
ඇඳී නොපෙනී මැකෙන
පුංචි කඳුලත් නුඹයි

හඬා වැටෙනා විටෙක
හිසත් පිරිමැද සෙමෙන්
මතකයට මුවාවෙන
පුංචි සුසුමත් නුඹයි

Sunday, July 10, 2011

මගේ තරු එළිය

ආකහෙන් සොරා ගෙන
දිලිසෙනම තරු කැටය
මගේ හදවත ගැඹර
වසන් කර හිඳිමි මම
මගේ දෙනෙතෙන් එබෙන
ප්‍රීතියක මුදු කැල්ම
ඒ රහස් තරු එළිය...
මගේ සොඳුරු තරු එළිය!

Friday, July 8, 2011

සීතලෙන්!

හිම ඉහෙන හීතලේ
පුංචි දිය කඩිත්තක
දිය නාන කුරුළු මිතු
නුඹ ඉතා ප්‍රීතියෙන්!

කබා දෙක තුනක් ඇඳ
කුටියේ උණුහුමත් විඳ
නුඹ දෙසම බලා ඉමි
මම තවම සීතලෙන්!

Monday, July 4, 2011

life..

රන් පාට හිරු කිරණ
තැවරුණද තුරු මුදුන
මොහොතකට විතරමයි
ඉන්පසුව කළුවරයි
ඒ සුවඳ හිත තියා
සියක් මල් පුබුදුවා
ගස නිතර සිනාසෙයි
ජීවිතය එහෙමමයි ...

Saturday, July 2, 2011

Happy birthday!














a
silent wish...
I am sure
you will
hear it,

a
kiss from far...
I am sure
you will
feel it

happy birthday!

Friday, July 1, 2011

බලා ඉමි

දිනක් එළඹෙවී මතු
හිරු සඳුත් නුපදින
තරු එළිය බිඳුවකුදු
රහසිනුදු නොතැවරෙන
පහුරුගාමින් දසත
සුළඟ අතු ඉති අහින
මල් කැකුළු නොපූදින
සත් සයුරු ගල් ගැසෙන
ලෝකයම නතර වී
කල්ප මහා වැසි වැටෙන

නොම සැලී බලා ඉමි
හුරුපුරුදු දසුන් දෙස
මගේ ලොව නතර වී
කාලයක් ගතව ඇත

Tuesday, June 28, 2011

කවි සිඳුන දා

ඉඩෝරෙට හේබෑව
මගේ සිතේ කවි කඳුර
පිරී උතුරන සතුට
අරන් හෙට එනවාද?

ගිනිගහන ඉර මඬල
දෝතකින් මුවාකර
සිතට සිසිලස ගෙනෙන
සෙවනැල්ල වෙනවාද?

දූලි වැකි නිසාමයි
උපන්නේ මේ කඳුළු
වදන් නැති කතාවක්
අසන්නට එනවාද?

Thursday, June 23, 2011

සිතට සීතල

ඈත කඳු මුදුනට
හිම වැටෙන බව කිය කිය
හමන මේ සුළඟින්
ඉරි ඇඳෙයි මගේ හදවත
කුටියේ ඇති උණුහුම
නොමැති දා මගේ සිත තුළ
නුඹ තවත් දුර බව
සුළඟ මුමුණයි ඉඳහිට

Tuesday, June 21, 2011

ලංසුව

සිනහවක උණුහුම
හුවමාරුවට එනවද?
දුකම ගැල් දහසක්
සොයාදෙන්නට පුළුවන
වටින්නේ නැතිනම්
සුලබ මගේ මේ කඳුලැලි
රිදුණු පොඩිවුණු සිතකුත්
ලංසුවට මට දෙනු හැකි

Sunday, June 19, 2011

දුර

අතු ඉති නමා බිමටම
හමන මේ සැඩ සුළඟට
දුන් හාදු ටික රහසේම
නුඹට දුන්නද හරියට..?
සප්ත සාගර පසුකර
නුඹේ සුවඳ ඇති පෙදෙසට
හාදු අහුරත් අරගෙන
එද්දී සුළඟත් නිවිලාද..?

Saturday, June 18, 2011

නොපෙනෙන

නොපෙනුනත් රෑ කල
කැකුළු පූදී අතු අග
නිදන නෙත සිහිනය මැද
ඇසෙයි මල්වල මිමිණුම
යා නොහැකි දුර වුව
මල් සුවඳ ඉගිලෙයි රෑ යම
මතකයන් පිරිමැද
දහක් මල් පුබුදවයි හද තුළ

Friday, June 10, 2011

මෙහෙම්මම
















මෙහෙම්මම මේ කඳු පෙළ
දුකක් නැති සේ හිටියට
බුබුළු දමමින් හද තුළ
කඳුළු ඇති බව දන්නේද?

මෙහෙම්මම මේ නිල් දොළ
දඟ ගමනකින් ගැලුවට
කන්ද නොහෙලූ කඳුලැලි
එහි සැඟවී බව දන්නේද?

මෙහෙම්මම මේ ගල් කුළ
පාර අවුරා උන්නට
දොළේ කඳුලැලි ගීයට
තාල ලූ බව දන්නේද?

මෙහෙම්මම මේ මද නල
තුරු මුදුන් පිරිමැද්දට
කඳු පෙළින් නැඟි සුසුමන්
එහි රැඳුණු බව දන්නේද?

Tuesday, June 7, 2011

එනවාද?

ළය මැද රිදෙන තරමට
පැතුම් දහසක් පැතුවොත්
එකම එක පැතුමක් සේ
සැබෑ වී ඔබ එනවාද?

කඳුළැලි උනන තරමට
දෙනෙත් පියවා උන්නොත්
එකම එක දසුනක් සේ
සිහිනයට නුඹ එනවාද?

Saturday, June 4, 2011

ගැහැණු ළමයිනේ

ජීවිත කාලයක් පුරාවට
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය,
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,

ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට

Wednesday, June 1, 2011

sunny winter day

අළු අහස ඉරාගෙන
දිදුල දෙන හිරු වගේ
නුඹේ සිනා එක බිඳක්
දිලිසෙමිනි හදවතේ...
සිසිරයට හිමිනැතත්
උණුහුමක් හිරු මලේ
නොතකාම, නොසිතාම,
හිරු දිලෙයි නුබතලේ...

Tuesday, May 31, 2011

වැළපෙනා විලෝ තුර




















තණබිමට ඉහිරිලා
දුර ඉඳන් හඳ එළිය
වැළපෙනා විලෝ තුර
පාමුලය තරු කැකුළ...
හිස්ම හිස් හිතක් ගෙන
ඇවිදයමි අඳුර මැද
මුළු ලොවට රහසින්ම
වළලන්න කඳුළු නෙත...
රළු පරළු මුල් අතර
මතක යවුලෙන්ම කැණ
විලෝ තුර පාමුලෙහි
වළලා යමි මගේ දුක..
ඉතින් මේ මොහොත සිට
වැළපෙනා විලෝ තුර
තව තවත් හඬන්නට
නුඹට හේතුවක් ඇත

Sunday, May 22, 2011

රුව

ඉඳහිටක ගොඩවෙමි
මතකයේ ගබඩාව වෙත
අගුළු ලූ ද්වාර පසුකර
එළඹෙමි රහස් කුටියට

හිස මඳක් ඇලකර
දෙනෙත පුරවා මඳහස
ඈතක බැල්ම යොමුකළ
නුඹේ රුවක් සඟවා ඇත

මොහොතකට ගෙන දෑතට
යළිත් කටපාඩම් කර
තිබූ තැන්හිම සඟවා
අගුළු ලා නික්මෙමි මම

Friday, May 20, 2011

නැතිවූ

වළාකුළු හැම එක
පෙරළලා මුළු අහසේම
නැතිවුන හාදු අහුරක්
සොයනවා ඉර දවසෙම...

Tuesday, May 17, 2011

my four seasons

සියලු පත් අතහැර
තුරු පෙළ හඬන මොහොතක
සුළඟද මිදී ගල්වුණ
සිසිරයේ ඉම දවසක
හද මැදම, උණුසුම්
කුටියක්‌ තනා රහසේම
නුඹ ඇවිත් තිබුණා
එන යන බවක් නොකියාම!

කහ මලින් පලසක්
තණබිම එලන දවසක
සැඩ හිරුට නතුවී
මුළු ලොව දැවෙන හවසක
සිත ළඟම, සිසිලස
පහසක් වෙලා රහසේම
නුඹ ඇවිත් තිබුණා
නවතින බවක් නොකියාම!

Sunday, May 15, 2011

පවනැල්ලක් වෙමි

ගිනිගත් නුවරක
දහසක් කලබල
මැද එක මොහොතක
පවනැල්ලක් වෙමි

නොසිතුව විටකදි
සියොළඟ දැවටී
සිතුවිලි කළඹා
සැණෙකින් සැඟවෙමි

Saturday, May 14, 2011

පිරියම්

කඩතොළු වූ ම'හිත ළඟ
නතර වී සෙනෙහසින්
රිදුනු තැන් පිරිමැදන්
මටසිලිටු කරන නුඹ

පුංචි හසරැළි බිඳක්
දිදුලනා මතකයක්
අතුරලා බෝ පෙමින්
හිස්තැනක් වසන නුඹ

සුව වුවත් ඇදුම්කන
අතීතෙක කැළැල් මත
නුඹේ සුවඳ තවරලා
සිනහ දී, දුරක නුඹ..!

Tuesday, May 10, 2011

නම් නැති, නිම් නැති

කොපුලත දැවටෙන
සුසුමකි ඔබ මට
දෑසට නොපෙනෙන
හදවත කළඹන

නම් නැති නිම් නැති
කවියකි ඔබ මට
ඇරඹුම නොදැනුන
සිත තුළ නැවතුන

Friday, May 6, 2011

පසුවදන

කැඩපත බිඳුණු පසු
දුටිමි එහි
මගේ පිළිඹිබු
දෙකක්!

Wednesday, May 4, 2011

හංගන











මෙහෙම්මම, මේ විදිහට
හිරු එළිය ඉරි වැටෙනවිට
නුඹටත් දුකක් දැනෙනවද
මොහොතක් හුස්ම හිරකර?

Monday, May 2, 2011

විරල

නුඹ මගෙන් දුරක බව
සාක්කි ය මේ අහස
හැඬුම්බර වී නිතර
වළා අහුරයි දසත
රහසින්ම කියන්නම්
පලක් නැහැ හඬා නම්
දේදුන්න මැවෙන්නේ
හැමදාකමත් නොවේ

Friday, April 29, 2011

සැඟවුණා!

පිපාසිත හීනයක
පැන් තොටක් වෙලා නුඹ
දෙතොල් අග දිය බිඳක්, තැවරුවා...
මංමුළා වීදියක
හුරු දසුන් මවා නුඹ
මඟ නොමඟ පෙන්වලා, නික්මුණා...
විඩාබර ලෝකයක
කෙම්බිමක් වෙලා නුඹ
හිසත් පිරිමැද සෙමෙන්, සැඟවුණා...

Tuesday, April 26, 2011

හඳුනන්නේද?

පතුල නැති හීනයක කිමිදෙන
ගැලූ කඳුලින් මාල ගොතමින
සතුට දෝතකට රැගෙන හිනැහෙන
පය පැකිලී විට සෙමෙන් නැගිටින

දිවි පුරා කටු අකුල් සිඹිමින
අහම්බෙන් මල් පොඩිති හමුවෙන
දෑත නොව හදවතම සීරුන
ගැලූ රුහිරෙන් කවිත් පබඳින

හදවතේ ගැඹුරු තැන කළඹන
සෙනෙහසක මිමිණුමට කන්දෙන
දුර තියා සුසුම් හඬ හඳුනන
මම නුඹයි මඟ තොටදී හමුවන

නුඹයි!














දෙතොල් අග තවරනා
මඳහසක රස නුඹයි
සුව නින්දේ දැවටෙනා
ගැඹුරු හීනය නුඹයි
නෙතු දිවෙන දුර පුරා
නුබෙහි රන් පෑ නුඹයි
කළඹලා හද නුරා
පිපෙන කවිකම නුඹයි

Friday, April 22, 2011

my fairy tale

it is only a fairy tale
it sure has to be
otherwise how can you explain
all this unreality?
how does this story end
will you be kind to tell me?
does it have more moondust
and a wishing tree?
shall I close my eyes hard
and wait till eternity?
to have you smiling by my side
in the land of never-to-be....

Thursday, April 21, 2011

වැස්ස

දුවන වැස්සක් වෙලා
හිතට ඇදහැලුනේ කිම
කටුක මේ දිවිමඟට
සිසිල දී සැඟවෙන්න?

පැල් බැඳන් වැසි වැටෙන
මෝසමක් නොවුනේ කිම
හද පුරන් කෙත්යාය
හෙමින් අස්වද්දාලන්න?

Wednesday, April 20, 2011

දින දසුන

දින නොමැති
දින දසුන
ඔබ, මට
ඔබ ආ දා හිරු නඟින
නොආ දා හිරු බසින

Saturday, April 9, 2011

යාත්‍රා

හීන තොටුපොළ
වෙතට පාවෙමි
සුසුම් පවනින්
රුවල් පුම්බමි
මඟ කියන්නට
නැකත් තරුවක්
සදිසි දෙනෙතක්
දුරින් හඳුනමි

Friday, April 8, 2011

forgotten summer

පත් හලා අතු ඉති ඉපල් වූ
තුරු මැදින්,දුර කඳු මතින්
හමයි පවනක්,
ඈත ඉම සිට
මතක නැති වුනු වසන්තෙන්
නොපෙනෙනා දුර තෙක්ම දිවෙනා
තණ පලස ඇත හිස් අතින්
ඉඳහිටකවත්,
කුරුළු රෑනක්
මං සොයා එනු ඇත සිතන්
මතක ගඟ දිග පිපුණු සුදු මල්
නෙතු බිමට හරවා ඉඳන්
නොහඬනා'යුරු,
සිනාසෙන'යුරු
උනුන් වෙත මුමුණනු බලන්

Thursday, April 7, 2011

වෙනස්

කන්දකට පෙම් බැන්ද
එකම එක වළාවක්
නවතින්නේ කෙසේදැයි
සිතයි මහා වෙලාවක්

Wednesday, April 6, 2011

මතක

අඳුරු මහා පාන්දර
ගැඹුරු නිදි විසිරුවා
සිත අසල නවතින්න
ඔට්ටු නැහැ!!
රුදුරු කළුවර ඉරා
දිලිසෙනා මතක රැස
පෙන්වලා හිනැහෙන්න
ඔට්ටු නැහැ!!

Monday, April 4, 2011

හේමන්තයේ ලියූ කවි















නොහිතුව විටදී වැහි එන
හේමන්තයේ අඳුරු දවසක
උණුහුම් අවන්හල කොණ
කෝපි බොන්නට එනවාද?
අපේ තෙත සුසුමින්
හුමාලය බැඳුනු කවුළුවේ
ඇඟිලි තුඩගින් රූ
ඇඳ හිනැහෙන්න එනවද?
කහ ගැහුණු පත් සිඹ සිඹ
මේ හමන සීත සුළඟට
නොදී දිනුමක්, මා ළඟ
උණුහුම් වෙන්න එනවාද?

Sunday, April 3, 2011

sense it?

නුඹේ රළු කොපුලත
තවරන මගේ සුසුමක
දැනේවිද මන්දා...
පැතුම් සහසක කැබලිති
දඩබ්බර දෙනෙතෙහි
අතරමං වුණු මොහොතක
පෙනේවිද මන්දා...
හීන දහසක අරුණැලි

Thursday, March 31, 2011

නුඹ මගේ උදෑසන

මීදුමක නෙතු තියා
මඟ නොමඟ සොයමි මම
උදා හිරු රැසක් සේ
හිත ළඟට එබෙයි නුඹ    

පිණි අතුල තණ පලස
නොරිදවා ඇදෙමි මම
මදනලක මුහුවෙලා
සිනහ මල් ඉසියි නුඹ

රෑ උපන් කඳුළු බිඳු
නුඹ ලයෙහි හොවමි මම
ඇඟිලි තුඩගින් කඳුළු
සිතුවමක් අඳියි නුඹ

Sunday, March 27, 2011

පිරුණු- නොපිරුණු

පිරුණු බව
සිතා සිටියෙමි
නුඹ ඇවිත්
සිතේ හිස්තැන්
පෙන්වන තුරු...

නුඹම
ඒ හිස්තැන් පුරවා
අලුත් හිස්තැන් මවා
ඈතක සිට
සිනාසෙන'යුරු!

Thursday, March 24, 2011

පුරුදුයි





















සීතලයි මෙහෙට නම්
ආව දවසේ පටන්
කීරි ගැහෙනවා හිතම
ගත වෙළෙන සුළඟකින්
මතක් වෙන්නට දුන්නු
උණුහුම්ම සුසුමකින්
දවස් ගෙවනවා ඉතින්
හීන පුරුදුයි නේ දැන්!

Tuesday, March 22, 2011

ඇරඹුම

පළමු වෙන් වීමද නොවේ
අවසාන හමුවීමද නොවේ
එක් සිනා පෙළක නැවතුමයි
තව කඳුළු පෙළක ඇරඹුමයි

Monday, March 21, 2011

ආපසු

තුති
සොරාගත්
පුංචි ඉඩකඩට...
හිනාවක්
දකින්නට දුන්නාට...
කටහඬින්
මත් වෙන්න දුන්නාට...
අත ළඟම මුත්
බෝ දුරක හිඳ
දුර කතර ගෙවාවිත්
ළඟක මම දැන්
ආයෙමත්!

Tuesday, March 8, 2011

වසරක්!!



රහසේම නුඹේ
සුසුම් බිඳකට
මගේ සුසුම් පෙවූ දින පටන්
ගෙවුණු මඟ දිග
බලන් නෙතු හැර
පිපී කවි මල් සියගණන්
හෙටක් නැති ලොව
අද පමණි අප
සිහින දකිනුයේ සිත් බැඳන්
වසක් නොව
දිවි පුරා නුඹ මගේ
හදෙහි කවියක් වී හිඳින්..!

Thursday, February 17, 2011

close yet far

ඉතින් මා නොලීවත්
නුඹට හද කවි පිපෙන
ළඟ වුවත් දුර හිඳින
කාලයත් ගත නොවේද?

Tuesday, February 15, 2011

තිළිණයක්

දෑත ගුලිකර
දෑතේ තබනෙමි
නොඅරින්න,
මා දුරක යන තෙක්...
නුඹත් මා මෙන්
නොකී පැතුමක්
පුංචි සුසුමක
දැවටුවෙමි මම

Thursday, February 10, 2011

එළි

අරුණක දිදුලන
රිදී තරුව නුඹ
ලොව නිදි මොහොතක
ඉඟි කර මුමුණන
අවරක සැඟවෙන
උල්කා එළි නුඹ
ඉපිද සිඳෙන පැතුමන්
සේ දිස්වෙන

Monday, February 7, 2011

long tender kisses

නොනිමි මුදු හාදු වැසි
දෙතොල් අග සුව රසසි
පිණිති ඉහිරුණු විලසි
හද තඹර පිපි සරසි

Sunday, February 6, 2011

නුඹට මොහොතක්

රහසෙන් එනු මැන
හිත් ඉම පියමැන
සිනහ බිඳක්
නුඹේ දෝතට අරගෙන
මගේ ලොවෙන්
මොහොතක් සොරකම් කර
නුඹ වෙනුවෙන්
ලෝකයක් තනන්නම්

Thursday, February 3, 2011

ඒකපාර්ශවිය


හිරු යන එන අත
නිතරම සෙව්වත්
නුඹ ගැන හිරු නම්
නොදනී කිසිවක්

Wednesday, February 2, 2011

කේතකි

රළු ළවැලි මතින් පිපි
මුදු කේතකි කුසුමකි
සුභ සිහින හදේ පිරවූ
දළ සුළඟ සමඟ නැඟි
දූවිලි පුස්ඹෙන් පිරි
පුර කොණක වැඩෙයි නිසරූ
සැඩ සයුර ගෙනෙන නිති
ලුණු රටා ඇඳී ඇති
පත් පෙනෙයි විලස වියරූ
ලොව අපල මකණු රිසි
බුදු පුදට ගෙනෙන නිසි
කේතකි සෙව්වෝ බොහොලූ

Monday, January 31, 2011

tlc :)

හීන් හාදුවක්
සුළඟට පවරමි
නුඹ නළලත පිස
රිදුම් මකන්නට
දෙනෙත් පියාගෙන
මොහොතක් ඉනු මැන
ගව් දහසක දුර
මැකෙනු දැනෙන්නට

දුක් ගී?

සවන සනසන
විහඟ මිතුරනි
නුඹ ගයන්නේ
සතුටු ගීමද?
දුකක රේඛා
හීන් තනුවක
පටලැවී මට
ඇසෙන්නේ කිම?

Friday, January 28, 2011

සැඟවුණු සඳ

මල් කිණිති සිඹී සඳ
ලොව නිදි මේ රෑයම
තුරු මුදුන් අසල නැවතී
මුදු මුවරද සුවඳක
සිත ඔකඳ වෙලා අද
අහසට යන්නට නොරිසී

සුවඳ

දුර ඉඳන් එන
පුරුදු සුවඳට
වසඟ වී සිත
දෙපා නැවතිණි
සුවඳ පමණයි
පවුරු අපමණ
සිහිව මොහොතක්
හදම නැවතිණි

Wednesday, January 26, 2011

කඳුළු ගෙත්තම

සිනහවේ පෑ
දෙතොල'තර ගෑ
නුඹයි අදිසිව ඇඳෙන සිත්තම
ගණ අඳුරු රෑ
නුඹ ළඟක නෑ
මතක අහුරක් තැවෙයි සිත් ඉම
නොකි දහක් දෑ
කියනු ඉඩ නෑ
සත් සයුරු සේ දුරයි නුඹ මම
සිත අඳුන් ගෑ
සුසුම් දුර ලෑ
නුඹයි මාගේ කඳුළු ගෙත්තම

Tuesday, January 25, 2011

නොපායන සඳ

නොපායන සඳ
කිමද මේ ලෙස
මගේ සුසුම් ළඟ
ඉසිඹුලන්නේ

අහසේ නුඹ නැත
ඇහි පියන් යට
කඳුළු බිඳුවක
සිනාසෙන්නේ

මටම විතරක්
එළිය දෙන නුඹ
මටම විතරද
කඳුළු දෙන්නේ

හෙටත් අහසට
නාවොතින් නුඹ
කඳුළු දෙන්නම්
සැඟවී ඉන්නේ

Monday, January 24, 2011

පුතු



















සල දෑස් පියන් යට
මුදු හීන දකින පුත
මැද සුව නින්දක ගැඹුරු
නුඹේ සොඳුරු ලොවක රුව
මට දුකම ගෙනෙන බව
නොකියා සඟවමි කඳුළු
හෙට දින දිවි මංපෙත
නුඹ නොබියව යන සඳ
නුඹේ මුහුණ බලමි මහරු
තව දිනනු දෙයක් නැත
මගේ මෙහෙය නිමයි පුත
සිත නිවෙන තැනත් නුදුරු

Sunday, January 23, 2011

ගඟක්!

එකින් එක එක පෙළට
තැබූ විට කඳුළු බිඳු
මහා ගඟක් සේ පෙනෙයි
විහිදෙනා ඈතකට
ඉතින් මේ කඳුළු ගඟ
සයුර හමුවන දිනට
කඳුළු පිස සිනාසෙමි
තව කඳුළු නැති කමට

Friday, January 21, 2011

අඳුර- එළිය

සඟවාගමි දෝතකට
හිරු එළිය බිඳක් මම
හිරු නොමැති ඝන අඳුර
එළිය කර ගනු පිණිස

Thursday, January 20, 2011

නුඹ ලූ

තරු දෙනෙත් ඇරන්
නුඹ රහස් කියන්
මගේ දැහැන් සෙමෙන් බිඳ ලූ
සිත වෙලූ රැහැන්
හරි බරයි ඉතින්
මඟ නොමඟ නිතර පැටලූ
සිත කවිත් කියන්
නෙතු මඟත් බලන්
දස අතම සෙව්වේ නුඹ ලූ
මගේ සිනාත් අරන්
නුඹ සිනා වෙයන්
මේ මඟෙහි ගමන රුදු ලූ

Wednesday, January 19, 2011

A Sunset for Two

















can I please order
a sunset for two?
with a sliver of crescent moon
and a sprinkling of stars- thank you,
some pickled orange clouds?
and a platter of white mist?


oh, also a lonesome beach,
the sandy- pebbly kind…
just as to make sure
that the sunset’ll be worthwhile

and a special shooting star
by the end of the meal?
just to make a wish
to sign off the deal?


but please hold the sadness
none of the tears too
for this’ll be a party
from where all dreams come true


a very special sunset
a sunset for two....

Tuesday, January 18, 2011

ඉගිලෙමි

සත් සයුරු පසු කර
තටු ගසා දුර ඉගිලෙමි
හදට හුරු කෙම්බිම
අසල මොහොතක් නවතිමි
පවුරු දහසක් බැන්දද
ඉතින් කිසි දින නොතැවෙමි
උපන් බිම සොඳුරුයි
හදවතින් එහි යමි එමි

Monday, January 17, 2011

nom de plume

නුබ පුරා මේ විසිරී
මගේ අතින් ලියූ කවි ඇත
කඳුළු පොඟවා ලියුවද
මගේ නමෙහි උරුමය නැත
සිතුවිලි වුවද වද දී
හඬන දින නම් බෝ ඇත
කවි රැසත් මට නුඹ වැනි
හිමි වුවත් මට හිමි නැත

Saturday, January 15, 2011

කවිය හද නොලියන

ගිනිගහන අව්වක
බරැති මිහිදුම් සලුවක
නෙතු පියන තරුවක
සැනසුම කොහිද,කොතැනක ?

වැහි දියක පැටලී
දළු ලූ තුරක දැවටී
ගඟක පතුලක නැවතී
සොයමි යළි යළි ලතවී

කඳුළු කැට වී ගිලිහෙන
කවිති පිපුණත් එසැණින
කවිය හද නොලියන
හද පතුලේ, ලේ ගලමින

ගිලන් වූ මේ හදවත
තුරුළු කර යමි දසඅත
ඔසු දකිමි දුර හිමවත
සිහිනයෙන් මිස හිමි නැත

Friday, January 14, 2011

සැහැසි

























දොළක් වී පෙර
නුඹ ගලන සඳ
මේ සැහැසි කම්
කොහේ තිබුණිද?

Thursday, January 13, 2011

නුඹ...හැම අත!

මා යනෙන හැම අත
නිරතුරුව නුඹේ රුව ඇත
පසුකරන මුත් නෙත
තව දුරක නුඹ සැඟවෙත
වළා මැද ගගනත
සෙමෙන් හරිමින් තරු නෙත
සිනාසෙන නුඹේ වත
දැක ඉතින් නොසැලෙද සිත
විඩාපත් විට සිත
නුඹේ හඬ වෙයි සවනත
ලොවක් තුළ සසලිත
නොහඬාවි මගේ හදවත

Wednesday, January 12, 2011

තවත් වැස්සක

දියකඩිති මත පාවෙනා
මල් පියලි මේ හිනැහෙනා
අනේ දන්නේද
තවත් වැස්සක
දියබත්ව නුඹ සැඟවෙනා..!

Tuesday, January 11, 2011

නුඹමය

දහස් කලබල මැද
සොරාගත් එක මොහොතක
මගේ සිත ළඟ දැවටෙන
සිතැඟි අහුරත් නුඹමය

හද රිදෙන පිළිවෙත
උගෙන හිනැහී රිදවන
සැනෙන් යළි සිප සනසන
සොඳුරු රිදවුම නුඹමය

අද ලැබෙන හස බිඳකට
පෙම් බඳින්නට හුරු කළ
හෙටක වග සිත දුරු කළ
හඬන හසරැළි නුඹමය

Monday, January 10, 2011

නම් නැති මල්


















දෑස දිවෙනා දුරක් හැඩකර
නම් නොමැති මේ මල් පිපේ
සුළඟ හා උන් රඟන අරුමය
නිරතුරුව මා නෙත ගැටේ...
ඉතින් නුඹලා පිපුණි නම් සොඳ
උයන් මැද තුඟු මල් කුලේ
දහක් දන නිති පසසනුම ඇති
සොඳුරු නම් පටබැඳ අගේ...

ඉවසීම

වැහිබරව වැහි කඳුළු නොහෙලා
දුක් විඳින මේ නුබ තලේ
ඉවසීම හුරු කරන් වත් දෝ
ලොවම දෙන ඔවදන වගේ

Sunday, January 9, 2011

පුරුදු

පුංචි සතුටට ඉඩක් දුන්නොත්
හදේ මුල් අදිනා නිසා
මුලින් උපුටා ඉවතලූයෙමි
දුක පුරුදු හද ගැන සිතා

Saturday, January 8, 2011

Enigma

never will I know
the reasons
why,
or why not...
never will I know
the depth
how much
or how little...
never will I know
the rules
should I,
or should I not...

Friday, January 7, 2011

the windchime



















සිහිල් පවනක් ලෙසින් සැඟවී
සැනසුමක් හා කැළඹුමක් දී
සියුම් තනු රැසකටම පණ දී
නුඹම එන තුරු බලා හිඳිමි

ඇසෙන නෑසෙන නදින් හඬමි
හදවතේ තත් සෙමෙන් වයමි
නුඹම වෙනුවෙන් සිතේ ලියමි
අදිසි සුලඟක සෙනෙහසේ ගී

Thursday, January 6, 2011

හිත් දියවර

ඉමක් නැති හිත් දියවර
නුඹ නමින් හැපෙමින
වාන් නොදමන දිනක
කවිත් නුපදිනු ඇති මගේ හිත

Tuesday, January 4, 2011

සිහින රූ

සඳුට අත දුර
වලා ගැවසුන
කඳු මුදුන මත
සිහින තනනෙමි
සඳේ රැස් මැද
වලා කැරලිති
අමුණලා නුඹේ
රුවම අඹනෙමි
සිහින රූ හැම
පුරා පැසකට
දෑත ළඟකින්
නිතර තබනෙමි
කටුක ලොව මැද
සිය දහස් වර
කඳු මුදුන මත
සිතින් සරනෙමි

කවිත් කුමකට?

ඉරත් සයුරත
සඳත් අවරක
නුඹත් නැති දින
කවිත් කුමකට?

Saturday, January 1, 2011

සුභ වසරක්!




















නුඹ ලොව රිසි
පැතුම් සපිරි
සුසුම් වියැකි
වසක් පතමි
අත දිගු නැති
දුරකම ඉමි
කඩඉම් බිඳි
සුවඳ සිඹිමි