Monday, January 31, 2011

tlc :)

හීන් හාදුවක්
සුළඟට පවරමි
නුඹ නළලත පිස
රිදුම් මකන්නට
දෙනෙත් පියාගෙන
මොහොතක් ඉනු මැන
ගව් දහසක දුර
මැකෙනු දැනෙන්නට

දුක් ගී?

සවන සනසන
විහඟ මිතුරනි
නුඹ ගයන්නේ
සතුටු ගීමද?
දුකක රේඛා
හීන් තනුවක
පටලැවී මට
ඇසෙන්නේ කිම?

Friday, January 28, 2011

සැඟවුණු සඳ

මල් කිණිති සිඹී සඳ
ලොව නිදි මේ රෑයම
තුරු මුදුන් අසල නැවතී
මුදු මුවරද සුවඳක
සිත ඔකඳ වෙලා අද
අහසට යන්නට නොරිසී

සුවඳ

දුර ඉඳන් එන
පුරුදු සුවඳට
වසඟ වී සිත
දෙපා නැවතිණි
සුවඳ පමණයි
පවුරු අපමණ
සිහිව මොහොතක්
හදම නැවතිණි

Wednesday, January 26, 2011

කඳුළු ගෙත්තම

සිනහවේ පෑ
දෙතොල'තර ගෑ
නුඹයි අදිසිව ඇඳෙන සිත්තම
ගණ අඳුරු රෑ
නුඹ ළඟක නෑ
මතක අහුරක් තැවෙයි සිත් ඉම
නොකි දහක් දෑ
කියනු ඉඩ නෑ
සත් සයුරු සේ දුරයි නුඹ මම
සිත අඳුන් ගෑ
සුසුම් දුර ලෑ
නුඹයි මාගේ කඳුළු ගෙත්තම

Tuesday, January 25, 2011

නොපායන සඳ

නොපායන සඳ
කිමද මේ ලෙස
මගේ සුසුම් ළඟ
ඉසිඹුලන්නේ

අහසේ නුඹ නැත
ඇහි පියන් යට
කඳුළු බිඳුවක
සිනාසෙන්නේ

මටම විතරක්
එළිය දෙන නුඹ
මටම විතරද
කඳුළු දෙන්නේ

හෙටත් අහසට
නාවොතින් නුඹ
කඳුළු දෙන්නම්
සැඟවී ඉන්නේ

Monday, January 24, 2011

පුතු



















සල දෑස් පියන් යට
මුදු හීන දකින පුත
මැද සුව නින්දක ගැඹුරු
නුඹේ සොඳුරු ලොවක රුව
මට දුකම ගෙනෙන බව
නොකියා සඟවමි කඳුළු
හෙට දින දිවි මංපෙත
නුඹ නොබියව යන සඳ
නුඹේ මුහුණ බලමි මහරු
තව දිනනු දෙයක් නැත
මගේ මෙහෙය නිමයි පුත
සිත නිවෙන තැනත් නුදුරු

Sunday, January 23, 2011

ගඟක්!

එකින් එක එක පෙළට
තැබූ විට කඳුළු බිඳු
මහා ගඟක් සේ පෙනෙයි
විහිදෙනා ඈතකට
ඉතින් මේ කඳුළු ගඟ
සයුර හමුවන දිනට
කඳුළු පිස සිනාසෙමි
තව කඳුළු නැති කමට

Friday, January 21, 2011

අඳුර- එළිය

සඟවාගමි දෝතකට
හිරු එළිය බිඳක් මම
හිරු නොමැති ඝන අඳුර
එළිය කර ගනු පිණිස

Thursday, January 20, 2011

නුඹ ලූ

තරු දෙනෙත් ඇරන්
නුඹ රහස් කියන්
මගේ දැහැන් සෙමෙන් බිඳ ලූ
සිත වෙලූ රැහැන්
හරි බරයි ඉතින්
මඟ නොමඟ නිතර පැටලූ
සිත කවිත් කියන්
නෙතු මඟත් බලන්
දස අතම සෙව්වේ නුඹ ලූ
මගේ සිනාත් අරන්
නුඹ සිනා වෙයන්
මේ මඟෙහි ගමන රුදු ලූ

Wednesday, January 19, 2011

A Sunset for Two

















can I please order
a sunset for two?
with a sliver of crescent moon
and a sprinkling of stars- thank you,
some pickled orange clouds?
and a platter of white mist?


oh, also a lonesome beach,
the sandy- pebbly kind…
just as to make sure
that the sunset’ll be worthwhile

and a special shooting star
by the end of the meal?
just to make a wish
to sign off the deal?


but please hold the sadness
none of the tears too
for this’ll be a party
from where all dreams come true


a very special sunset
a sunset for two....

Tuesday, January 18, 2011

ඉගිලෙමි

සත් සයුරු පසු කර
තටු ගසා දුර ඉගිලෙමි
හදට හුරු කෙම්බිම
අසල මොහොතක් නවතිමි
පවුරු දහසක් බැන්දද
ඉතින් කිසි දින නොතැවෙමි
උපන් බිම සොඳුරුයි
හදවතින් එහි යමි එමි

Monday, January 17, 2011

nom de plume

නුබ පුරා මේ විසිරී
මගේ අතින් ලියූ කවි ඇත
කඳුළු පොඟවා ලියුවද
මගේ නමෙහි උරුමය නැත
සිතුවිලි වුවද වද දී
හඬන දින නම් බෝ ඇත
කවි රැසත් මට නුඹ වැනි
හිමි වුවත් මට හිමි නැත

Saturday, January 15, 2011

කවිය හද නොලියන

ගිනිගහන අව්වක
බරැති මිහිදුම් සලුවක
නෙතු පියන තරුවක
සැනසුම කොහිද,කොතැනක ?

වැහි දියක පැටලී
දළු ලූ තුරක දැවටී
ගඟක පතුලක නැවතී
සොයමි යළි යළි ලතවී

කඳුළු කැට වී ගිලිහෙන
කවිති පිපුණත් එසැණින
කවිය හද නොලියන
හද පතුලේ, ලේ ගලමින

ගිලන් වූ මේ හදවත
තුරුළු කර යමි දසඅත
ඔසු දකිමි දුර හිමවත
සිහිනයෙන් මිස හිමි නැත

Friday, January 14, 2011

සැහැසි

























දොළක් වී පෙර
නුඹ ගලන සඳ
මේ සැහැසි කම්
කොහේ තිබුණිද?

Thursday, January 13, 2011

නුඹ...හැම අත!

මා යනෙන හැම අත
නිරතුරුව නුඹේ රුව ඇත
පසුකරන මුත් නෙත
තව දුරක නුඹ සැඟවෙත
වළා මැද ගගනත
සෙමෙන් හරිමින් තරු නෙත
සිනාසෙන නුඹේ වත
දැක ඉතින් නොසැලෙද සිත
විඩාපත් විට සිත
නුඹේ හඬ වෙයි සවනත
ලොවක් තුළ සසලිත
නොහඬාවි මගේ හදවත

Wednesday, January 12, 2011

තවත් වැස්සක

දියකඩිති මත පාවෙනා
මල් පියලි මේ හිනැහෙනා
අනේ දන්නේද
තවත් වැස්සක
දියබත්ව නුඹ සැඟවෙනා..!

Tuesday, January 11, 2011

නුඹමය

දහස් කලබල මැද
සොරාගත් එක මොහොතක
මගේ සිත ළඟ දැවටෙන
සිතැඟි අහුරත් නුඹමය

හද රිදෙන පිළිවෙත
උගෙන හිනැහී රිදවන
සැනෙන් යළි සිප සනසන
සොඳුරු රිදවුම නුඹමය

අද ලැබෙන හස බිඳකට
පෙම් බඳින්නට හුරු කළ
හෙටක වග සිත දුරු කළ
හඬන හසරැළි නුඹමය

Monday, January 10, 2011

නම් නැති මල්


















දෑස දිවෙනා දුරක් හැඩකර
නම් නොමැති මේ මල් පිපේ
සුළඟ හා උන් රඟන අරුමය
නිරතුරුව මා නෙත ගැටේ...
ඉතින් නුඹලා පිපුණි නම් සොඳ
උයන් මැද තුඟු මල් කුලේ
දහක් දන නිති පසසනුම ඇති
සොඳුරු නම් පටබැඳ අගේ...

ඉවසීම

වැහිබරව වැහි කඳුළු නොහෙලා
දුක් විඳින මේ නුබ තලේ
ඉවසීම හුරු කරන් වත් දෝ
ලොවම දෙන ඔවදන වගේ

Sunday, January 9, 2011

පුරුදු

පුංචි සතුටට ඉඩක් දුන්නොත්
හදේ මුල් අදිනා නිසා
මුලින් උපුටා ඉවතලූයෙමි
දුක පුරුදු හද ගැන සිතා

Saturday, January 8, 2011

Enigma

never will I know
the reasons
why,
or why not...
never will I know
the depth
how much
or how little...
never will I know
the rules
should I,
or should I not...

Friday, January 7, 2011

the windchime



















සිහිල් පවනක් ලෙසින් සැඟවී
සැනසුමක් හා කැළඹුමක් දී
සියුම් තනු රැසකටම පණ දී
නුඹම එන තුරු බලා හිඳිමි

ඇසෙන නෑසෙන නදින් හඬමි
හදවතේ තත් සෙමෙන් වයමි
නුඹම වෙනුවෙන් සිතේ ලියමි
අදිසි සුලඟක සෙනෙහසේ ගී

Thursday, January 6, 2011

හිත් දියවර

ඉමක් නැති හිත් දියවර
නුඹ නමින් හැපෙමින
වාන් නොදමන දිනක
කවිත් නුපදිනු ඇති මගේ හිත

Tuesday, January 4, 2011

සිහින රූ

සඳුට අත දුර
වලා ගැවසුන
කඳු මුදුන මත
සිහින තනනෙමි
සඳේ රැස් මැද
වලා කැරලිති
අමුණලා නුඹේ
රුවම අඹනෙමි
සිහින රූ හැම
පුරා පැසකට
දෑත ළඟකින්
නිතර තබනෙමි
කටුක ලොව මැද
සිය දහස් වර
කඳු මුදුන මත
සිතින් සරනෙමි

කවිත් කුමකට?

ඉරත් සයුරත
සඳත් අවරක
නුඹත් නැති දින
කවිත් කුමකට?

Saturday, January 1, 2011

සුභ වසරක්!




















නුඹ ලොව රිසි
පැතුම් සපිරි
සුසුම් වියැකි
වසක් පතමි
අත දිගු නැති
දුරකම ඉමි
කඩඉම් බිඳි
සුවඳ සිඹිමි