Friday, April 29, 2011

සැඟවුණා!

පිපාසිත හීනයක
පැන් තොටක් වෙලා නුඹ
දෙතොල් අග දිය බිඳක්, තැවරුවා...
මංමුළා වීදියක
හුරු දසුන් මවා නුඹ
මඟ නොමඟ පෙන්වලා, නික්මුණා...
විඩාබර ලෝකයක
කෙම්බිමක් වෙලා නුඹ
හිසත් පිරිමැද සෙමෙන්, සැඟවුණා...

Tuesday, April 26, 2011

හඳුනන්නේද?

පතුල නැති හීනයක කිමිදෙන
ගැලූ කඳුලින් මාල ගොතමින
සතුට දෝතකට රැගෙන හිනැහෙන
පය පැකිලී විට සෙමෙන් නැගිටින

දිවි පුරා කටු අකුල් සිඹිමින
අහම්බෙන් මල් පොඩිති හමුවෙන
දෑත නොව හදවතම සීරුන
ගැලූ රුහිරෙන් කවිත් පබඳින

හදවතේ ගැඹුරු තැන කළඹන
සෙනෙහසක මිමිණුමට කන්දෙන
දුර තියා සුසුම් හඬ හඳුනන
මම නුඹයි මඟ තොටදී හමුවන

නුඹයි!














දෙතොල් අග තවරනා
මඳහසක රස නුඹයි
සුව නින්දේ දැවටෙනා
ගැඹුරු හීනය නුඹයි
නෙතු දිවෙන දුර පුරා
නුබෙහි රන් පෑ නුඹයි
කළඹලා හද නුරා
පිපෙන කවිකම නුඹයි

Friday, April 22, 2011

my fairy tale

it is only a fairy tale
it sure has to be
otherwise how can you explain
all this unreality?
how does this story end
will you be kind to tell me?
does it have more moondust
and a wishing tree?
shall I close my eyes hard
and wait till eternity?
to have you smiling by my side
in the land of never-to-be....

Thursday, April 21, 2011

වැස්ස

දුවන වැස්සක් වෙලා
හිතට ඇදහැලුනේ කිම
කටුක මේ දිවිමඟට
සිසිල දී සැඟවෙන්න?

පැල් බැඳන් වැසි වැටෙන
මෝසමක් නොවුනේ කිම
හද පුරන් කෙත්යාය
හෙමින් අස්වද්දාලන්න?

Wednesday, April 20, 2011

දින දසුන

දින නොමැති
දින දසුන
ඔබ, මට
ඔබ ආ දා හිරු නඟින
නොආ දා හිරු බසින

Saturday, April 9, 2011

යාත්‍රා

හීන තොටුපොළ
වෙතට පාවෙමි
සුසුම් පවනින්
රුවල් පුම්බමි
මඟ කියන්නට
නැකත් තරුවක්
සදිසි දෙනෙතක්
දුරින් හඳුනමි

Friday, April 8, 2011

forgotten summer

පත් හලා අතු ඉති ඉපල් වූ
තුරු මැදින්,දුර කඳු මතින්
හමයි පවනක්,
ඈත ඉම සිට
මතක නැති වුනු වසන්තෙන්
නොපෙනෙනා දුර තෙක්ම දිවෙනා
තණ පලස ඇත හිස් අතින්
ඉඳහිටකවත්,
කුරුළු රෑනක්
මං සොයා එනු ඇත සිතන්
මතක ගඟ දිග පිපුණු සුදු මල්
නෙතු බිමට හරවා ඉඳන්
නොහඬනා'යුරු,
සිනාසෙන'යුරු
උනුන් වෙත මුමුණනු බලන්

Thursday, April 7, 2011

වෙනස්

කන්දකට පෙම් බැන්ද
එකම එක වළාවක්
නවතින්නේ කෙසේදැයි
සිතයි මහා වෙලාවක්

Wednesday, April 6, 2011

මතක

අඳුරු මහා පාන්දර
ගැඹුරු නිදි විසිරුවා
සිත අසල නවතින්න
ඔට්ටු නැහැ!!
රුදුරු කළුවර ඉරා
දිලිසෙනා මතක රැස
පෙන්වලා හිනැහෙන්න
ඔට්ටු නැහැ!!

Monday, April 4, 2011

හේමන්තයේ ලියූ කවි















නොහිතුව විටදී වැහි එන
හේමන්තයේ අඳුරු දවසක
උණුහුම් අවන්හල කොණ
කෝපි බොන්නට එනවාද?
අපේ තෙත සුසුමින්
හුමාලය බැඳුනු කවුළුවේ
ඇඟිලි තුඩගින් රූ
ඇඳ හිනැහෙන්න එනවද?
කහ ගැහුණු පත් සිඹ සිඹ
මේ හමන සීත සුළඟට
නොදී දිනුමක්, මා ළඟ
උණුහුම් වෙන්න එනවාද?

Sunday, April 3, 2011

sense it?

නුඹේ රළු කොපුලත
තවරන මගේ සුසුමක
දැනේවිද මන්දා...
පැතුම් සහසක කැබලිති
දඩබ්බර දෙනෙතෙහි
අතරමං වුණු මොහොතක
පෙනේවිද මන්දා...
හීන දහසක අරුණැලි