Friday, September 30, 2011

so very far

නුඹ උරයේ උණුහුම් තැන
අමතක වූ සුසුමක් ඇත
වදනට නොහැරි දහසක්
රහසේම එහි ලියැවී ඇත
වැසූ කළ වුව නෙතු පිය
අවදිවන සේයා ඇත
සිනහා බිඳු ගෙන කැලතූ
නුඹේ ඇඟිලි සලකුණු ඇත

Thursday, September 29, 2011

වැස්සට පසු


















දුර ඈත ඉසව්වෙන්
පාව ආ වැහි කෝඩේට
පෙති හොඳටෝම තෙමුණත්
කිසිත් නොකියා උන්නෙමි

හිස නමා බිමටම
රහස් පවසා සුළඟට
වැහි දියේ කඳුළු හංගා
කිසිත් නොකියා උන්නෙමි

හිනා අහුරක් අරගෙන
යළිත් හිරු පෑයූ දා
කඳුළු විසිකර මතකෙට
පෙර මඟට වී ඉන්නෙමි

මහා වැස්සට තෙමුණත්
නොහංගා පාට බිඳකුදු
පැතුම් දහසක් අතැතිව
මඟ බලාගෙන ඉන්නෙමි

Tuesday, September 27, 2011

මොහොතක්!

වළාකුළු පියල්ලක
තවරද්දී රන් පැහැය
හිරුගේ පින්සල මතින්
බිඳක් ගිලිහිණි බිමට
නිදන රත් පැහැ මලක
පුංචි සමනල බඳක
රැළි නගන දුර විලක
රන් පැහැය විය සැනෙක
අඳුර සළුපිළි රැගෙන
වසන්නට පෙර දසත
රන් පැහැති මතකයක්
දිලිසුනා මොහොතකට

Tuesday, September 20, 2011

යළිත් ආ විට

කල්පයට පසුව එන
එකම එක ඉසිඹුවට
ඇඟිලි ගණිනා විටෙක
කඳුළු වැඩි නැහැ මට

පා තබන අතරතුර
සිහිනයෙන් සිහිනයට
දුර බලා නුඹ සිටියි
නොදුටු සිහිනයේ කොණ

හිතේ නුඹ අමතකව
තබා ගිය අත් ලකුණ
මකන්නට නොහැක මට
කඳුළු තවරා වුවද

හෙටක නූපදින කවි
පණ පොවා සුසුම් පිඹ
දෑතේ ගුලිකරන්නම්
යළිත් ආ විටක නුඹ

Monday, September 12, 2011

මුල්

මුලින් උපුටනු
නොහැකි බව දැක
ඇවිද ගිය විට මුල් සොයා
ඇට මිදුළු මැද
හදවතේ යට
දුටිමි මුල් රැස දිවූ නියා
උදුරන්න
තැත් දරන හැම විට
හදවතත් ගැලවෙන නිසා
නොදුටුවා සේ
බලා ඉන්නම්
තවත් මුල් අදිනා දිහා

Sunday, September 11, 2011

shades
















තව සය මසකින්
පැහැය වෙනස් වී
ගිලිහෙන්නට වුව
අතු අතරින්...
කොල පැහැ කීයක්‌
තවරා ගන්නේද
අලුතින් තම ගත
මේ තුරු වැල් ..

Saturday, September 10, 2011

මුතු හදමි

අතැර ගිය වැලි අහුරකින්
කැවේ සිත යට සියුම් තැන්
දුක දරා සුපුරුදු බැවින්
මුතු හදමි මම වැලි අරන්

යළිත් නුඹ ආවිට ඉතින්
මුතු තබමි අත්ලත පෙමින්
හැඬූ බව වත් නොම දැනන්
සිනාසෙනු ඇත නුඹ නිතින්

Thursday, September 8, 2011

පිළිබිඹු

හවස වට වැස්සට
ලිස්සලා විත් පොළොවට
මඩ කඩිති මතුපිට
සඳ පෙනෙයි බැලු බැලූ අත

Tuesday, September 6, 2011

නුදුරු

දිගු සීත කාලෙක
මතකය දෑත ගුලිකර
ලා දළු හෙමින් නැගිටියි
හෙටක රහසක් අරගෙන

පිසිමින් අලුත් මල් හැම
හැමූ තෙතබරි සුළඟක
සැඟවුණත් සුසුවඳ
මල්ම පූදී තව තව