Labels

  • කවි
  • කෙටිම කෙටි කතා
Showing posts with label කෙටිම කෙටි කතා. Show all posts
Showing posts with label කෙටිම කෙටි කතා. Show all posts

Sunday, December 4, 2011

පිස්සු

මට හිටිය ගමන් හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න. එහෙම හිතෙන්නේ පිස්සු තියෙන අයට කියලා මම දන්නවා. ඒත් මට පිස්සු නැහැ. පිස්සෝ තමන්ට පිස්සු නැහැ කියලා කියන බවත් මම දන්නවා. යනවට නෙමෙයි, ඇත්තටම ඔලුව හැරුණු අතේ යන්න පුළුවන්ද? ඔන්න අපේ පාර දිගේ කෙළවරට මුලින්ම ඇවිදගෙන යන්න වෙනවා. තාම ටික ටික සීතල තියෙන නිසා කබායක් ගෙනියනවද.. නිකම්ම ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් යනවද? සෙරෙප්පු වත් නැතිව යනවාද.. අයියෝ.. ඔලුව හැරුණු අතේ යනවානම් මේවා හිතන්න ඕන නැති වෙන්න එපායැ. ඔන්න ඔහේ යනවා.. ගෙවල් දෙකකට එහා ඉන්දියන් ගෑනු කෙනා තිස්සෙම පාර බලාගෙන ඉන්නේ.. කාව හරි කතාවට අල්ලා ගන්න. එයාගෙන් මිදෙන්නේ කොහොමද? බිම බලාගෙන යනවා. කතා කළත් ඇහුනේ නැති ගානට. හැමෝම මාව හොයද්දි ඒ ගෑනි වත් කියන්නේ නැතෑ අහවල් වෙලාවේ අහවල් විදිහට ගියා කියලා. ඇත්තටම මම මේවා හිතන්නේ මොකටද? තාම පාරෙන් එහාට වත් ගියේ නැහැ!

අපේ පාර මහා පාරට වැටෙන තැනම තියෙනවා බස් නැවතුම. ඒකෙන් බස් එකක් ගන්න පුළුවන්. ඒත් එතකොට ඔලුව හැරුණු අතේ යනවා වෙන්නේ නැහැනේ. බස් එකේ ගමනාන්තය මගේ අරමුණ වෙන්නේ නැද්ද? බස් එකේ ටිකට් මැසිමට දෙන්න මාරු කාසි ගෙනියන්න වෙනවා නේද? ගෙදර මාරු කාසි තිබ්බද? ඔන්න ආයෙත් ඉතින් මම සිල්ලර දේවල් හිතනවා.. හරි බස් එකේ නැග්ගා කියමු. බස් එක අන්තිමට නවත්තන්නේ ස්ටේසමේ. එතැනින් නම් ටිකක් විතර ලේසියි ඔලුව හැරුණු අතේ යන්න. කෝච්චි කීපයක්ම යන එන තැන නේ. ලොකු නගරෙනුත් එහාට ඔලුව හැරුණු අතේ යනවාද? ඊට පොඩ්ඩක් මෙහාට යනවාද? අයියෝ එතනත් ටිකට් මැසිමක් තියෙනවානේ. ඒ කබලට විස්සේ කොල දාන්න බැහැ. ආයෙත් එළියට එනවා. ගිය බදාදා මම විස්සේ කොළයක් දාලා...නෑ නෑ ඒවා වැඩක් නැහැනේ. මම මේ ඔලුව හැරුණු අතේ යනවානේ. කොහොම හරි කෝච්චියක නැග්ගා කියමු. දුරම යන එකක. අවේලාවක ගියොත් වාඩිවෙන්න නම් ලැබේවි. නැත්නම් දුර යනකොට කකුල් රිදෙනවනේ. බඩගිනි වෙයිද මට? කෝච්චියට නගින්න කලින් මොනවා හරි කන්න ගන්න තිබුණාද? මේවා එකක් වත් හිතන්න ඕනද? හිතන්න ගියහම තව දේවල් මතක් වෙනවා. මම ඔළුව හැරුණු අතේ ගියොත් මගේ රෝස පැළ ටිකට වතුර දාන්නේ කවුද? ඒවා හොඳට අතු බෙදෙනකම් වතුර දාන්න කියලයි මල් පැළ කඩේ මනුස්සයා කිව්වේ. අනේ අපරාදේ මැරිලා යයිද? ඇයි අර හැමදාම පාන් කෑලි කන්න එන සුදු කොකටූ ගිරා ජෝඩුව! උන් දෙන්නාට පාන් දෙන්නේ කවුද? පොඩ්ඩක් පරක්කු වුණත් හරි ගෝරනාඩුව කෑම ඉල්ලලා... එක්කෝ ඔන්න ඔහේ මම ගෙදරම ඉන්නවා...රෝස පැළ ටිකත් තාම පොඩියි.. ගෙදර මාරු කාසිත් නැහැ..අනිත් එක මට පිස්සුත් නැහැනේ.

Saturday, November 26, 2011

පුංචි යකා

පුංචි යකා හිටියේ කොට්ටම්බ ගහේ තුන්වෙනි දෙබලේ. අඟල් හයක්වත් නැතිවුණාට නෙරපු බඩගෙඩියයි, කොට මහත කකුල් දෙකයි නිසා ටිකක් භයංකර පෙනුමක් තිබ්බා. ගොඩක් නෙමෙයි- පොඩ්ඩක් විතර. සමහරවිට කට දෙපැත්තේ තිබුණ ඇබින්දන් දළ දෙක හින්දා වෙන්නත් ඇති. දෙබලේ තිබ්බ පොඩි බෙනේ තමයි පුංචි යකාගේ ගෙදර. එහෙම කිව්වට බෙනේට ගියේ මොරසූරන වැස්සකදී විතරයි. ගොඩක් දවස්වලට රෑට නිදාගත්තෙත් අත්තක් උඩ තරු දිහා බලාගෙනයි. මොකෝ කාටවත් පෙනේවි කියලා බය වෙන්ටයැ. පුංචි යකා සහසුද්දෙන්ම දැනගෙන හිටියා කාටවත් තමන්ව පෙන්නේ නැහැ කියලා. කොට්ටම්බ ගහ පාමුල තිබ්බ ඇනෙක්සියේ නතරවෙලා හිටිය ගෑනු ළමයි ටිකවත්, ඊටම අල්ලලා තිබුණ ගෙදර හිටිය බෝඩිමේ ඇන්ටි වත් පුංචි යකා දිහා කණ ළඟින් ගියත් බලලාවත් නැහැ. ඒ හින්දාම කට්ටියම සමගි සමාදානෙන් හිටියා. පුංචි යකාගේ හිතේ පුංචි අරෝවක් තිබ්බේ බෝඩිමේ ඇන්ටි එක්ක විතරයි. ඉඳලා හිටලා කවුරුහරි ලවා කොට්ටම්බ ගහේ අතු කප්පවන එකට. ඇනෙක්සිය පැත්තට පොඩ්ඩක් බර වෙලා වැඩියි නම් තමයි ගහ. ඒත් එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අතු කපන සිරිතක් තියෙනවද? පුංචි යකා ඉඳලා හිටලා අත්තක් උඩ ඉඳන් කොට්ටම්බ ඇටේකින් පල්ලෙහා අතුගාන ඇන්ටිගේ පස්ස පැත්තට ගහන්නෙත් ඒ කෙන්තියටමයි. ඒත් ඒක එතැනින් ඉවරයි. ඔය තරහ මරහා වැඩිය හිතේ තියාගෙන ඉන්න ජාතියේ යකෙක් නෙමෙයි පුංචි යකා.

ඔක්කොම වෙනස් වෙන්න පටන් ගත්තේ සුජානි බෝඩිමේ පදිංචියට ආවාට පස්සෙයි. පුංචි යකා නම් දැනගෙන හිටියෙත් නැහැ පල්ලෙහා බෝඩිමේ වෙනසක් වුණු බව වත්. දවසක් හොඳට තරු එළිය තිබ්බ රෑක, පුංචි යකා බඩ පැලෙන්න කොට්ටම්බ මද කෑම වේලක් එහෙම දාලා ගහේ බඳට හේත්තු වෙලා අත්තක් උඩ කකුල් දෙක පද්ද පද්ද හිටියා බොහොම නිස්කාන්සුවේ. ගංගොඩවිල කිව්වට ගමක්වත් ගොඩක්වත් විලක්වත් පළාතක නැති නිසා මේ පැත්ත හරි ග්රීස්මයි. ඒ නිසා පල්ලෙහා බෝඩිමේ ජනෙල් වැහෙන්නේ හුඟක් රෑවෙලා. ජනේලෙන් අලුත් මූණක් එබිලා තරු දිහා බලාගෙන ඉන්නවා, ලයිට් එළියෙන් පුංචි යකා දැක්කා. ඒ මොහොතේම වගේ ඒ මූණත් පුංචි යකා දිහා බැලුවා. තමන්ව නොපෙනුණත් අවේලාවේ කාමර වල ඉන්න ගෑනු ළමයි දිහා බලන එක අසන්වරයි කියලා යකෙක් උණත් පුංචි යකා දැනගෙන හිටියා. අහක බලන්න හදනකොටමයි යටිගිරියෙන් කෑගහනවා ඇහුණේ. "ෂුවර් එකටම අදත් පොල් බෑය යට කැරපොත්තෙක්.." පුංචි යකාට හිතුණා. ඒත් එක්කම දැක්කා බෝඩිමේ ගෑනු ළමයි තුන්දෙනාම ජනේලේ ළඟ රොක්වෙලා ඉන්නවා. අලුත් ගෑනු ළමයා පුංචි යකා පැත්තට ඇඟිල්ල දික්කරනවා. අනිත් දෙන්නා උඩ බිම බලනවා
.

."පිස්සුද සුජානි? මොන යකෙක්ද? මම ඔයාට කිව්වා ඔච්චර පාන්දර වෙනකම් පාඩම් කරන්න එපා කියලා" නිලූ ගස්සාගෙන යන ගමන් කිව්වා.

"ඔව් අනේ.. දැන් ඉක්මනට කාලා නිදාගන්න" මන්ජුලාත් කිව්වා.

පුංචි යකා හිමින් සැරේ බෙනේට රිංගුවා. ඒත් පපුව ඩිග් ඩිග් ගානවා. ඇත්තටම ඒ ළමයා තමන්ව දැක්කා වෙන්න පුළුවන්ද? එහෙනම් අනිත් අය නොදැක්කේ කොහොමද? මෙච්චර කාලෙකට කිසිම දවසක් නොවුන දෙයක් එකපාරට වෙන්න පුළුවන්ද? ටික දවසක් යනකම් පුංචි යකා බෙනේටම වෙලා හිටියා. අත්‍යවශ්‍ය දේකට තමයි එළියට ආවේ. කොහොමත් උදේ අටෙන් විතර පස්සේ හවස් වෙනකම්ම පළාතටම මනුස්ස ප්රානයකට ඉන්නෙ බෝඩිමේ ඇන්ටි විතරයි. ඒත් පුංචි යකාගේ හිත ගැස්සුණා එදා වුණ වැඩේට.

 ඔහොම සතියක් විතර ගියහම පුංචි යකාටම හිතුණා මේ මොන විකාරයක්ද කියලා. ඇන්ටි රෙදි වනද්දී පේන්නම ඉඳන් කොට්ටම්බ ඇටේකින් ගහලා බැලුවා. කොහෙද.. ඇන්ටි උඩ බැලුවා මිසක් ළඟම හිටිය පුංචි යකාව දැක්කෙත් නැහැ. "මගෙත් විකාර!" පුංචි යකා තමන්ටම කියලා හිනාවුණා. "එදා වෙන මොකක් හරි වෙන්න ඇත්තේ.. ගෑනු ළමයින්ගේත් තියෙනවානේ එක එක මනස්ගාත". ඔහොම හිතලා හිත හදාගත්තා.

ඒත් හීනෙන් වත් නොහිතපු දෙයක් තමයි ඊළඟ දවසේ උණේ. දවාලේ පුංචි යකාගේ බෙනේට හිකනලෙක් රිංගලා. කෝටුවකුත් අරගෙන ඌව එළවාගෙන යද්දී ඉස්සරහටම හම්බවුණේ සුජානිව. පුංචි යකා ගල්ගැහුණා. ඇයි දෙයියනේ මේ ළමයා උදේ අනිත් අයත් එක්ක ගිහින් නැද්ද? සුජානිගේ අතේ කොත්තමල්ලි පැකට් එකකුයි ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකුයි. නිකම් අසිහියෙන් වගේ පුංචි යකාට හිතුණා අදත් කෑගහයිද කියලා. ඒත් සුජානි කෑගැහුවේ නැහැ. බිමටම පහත්වුණා. හිනා වුණා. පුංචි යකා තාම ගල් ගැහිලා. "මම දැනගත්තා මම එදා ඇත්තටමයි යකෙක්ව දැක්කේ කියලා" සුජානි තමන්ටම වගේ කියාගත්තා. කටහඬේ සද්දේ ඇහුණහමයි පුංචි යකාට සිහිය ආවේ. පස්ස බලන්නේ නැතුව දුවලා දුවලා ගිහින් බෙනේටම රිංගා ගත්තා.

 තමන්ගේ හිතේ බයක් නැතිවෙන්න ගත්තේ හරියටම කවදාද කියලා පුංචි යකාට මතක නැහැ. සුජානි තාප්ප කෑල්ල උඩ පීරිසියක දාලා අළුවා කෑලි දෙකක් තිබ්බ දවසේද? එහෙම නැත්නම් ආයෙත් දවසක අහම්බෙන් රෑක දැක්ක වෙලාවේ යාළුවෙකුට වගේ හිනාවෙලා අත වැනුව දවසේද? එහෙමත් නැත්නම් කාමරේ ඇතුළේ බඩු එහේ මෙහේ කරලා ලියන මෙසේ ජනේලේ ළඟට ගෙනාව දවසෙද? කොහොම හරි සුජානි තමන් ගැන ආයෙත් කාටවත් කියලා නැති බවයි, එයාගෙන් හානියක් නැති බවයි පුංචි යකාට තේරුණා. සුජානිගේ සැලකිලිවල, අත වැනිලි වල පොඩි විශේෂයක් දැනෙන්නත් ගත්තා. වෙනදාට වඩා කාමරේ පැත්ත බැලෙන්නත් ගත්තා.

දවසක් හවස පොඩි නින්දක් දාලා ඉන්දැද්දී හීනෙන් වගේ පුංචි යකාට කටහඬවල් ටිකක් ඇහුණා. හරියටම ගහ යටමයි. "තනියම හිනාවෙනවා.. අත වනනවා.. කවුද ඇන්ටි හිතන්නේ..පීරිසියක දාලා.. මේසේත් ජනේලේ ළඟ.. යකෙක් ගැන .. ලෙක්චර්ස් වෙලාවටත් වෙන සිහියක..අයියාගේ නොම්බරේ...නොකියා බැහැ වගේ..අපි නරක මිනිස්සු වෙයි.." එහෙන් මෙහෙන් ඇහුණු වචන නිදිමතේ හිටිය පුංචි යකාගේ ඔළුව ඇතුළේ හරියටම ගැළපුණේ නැහැ. ඒ කථාවේ සුජානිගේ කටහඬ තිබ්බේ නැති නිසා පුංචි යකා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.

දවස් දෙකක් යන්න කලින් උදේක කාර් එකක් ඇවිත් ගේට්ටුව ළඟ නැවැත්තුවා. පිරිමි කෙනෙකුයි වයසක ගෑනු කෙනෙකුයි ඇනෙක්සියට ගියා. ටික වෙලාවකින් සුජානි සූට්කේස්එකක් අරගෙන ඒගොල්ලොත් එක්ක කාර් එක ළඟට ගියා. බෝඩිමේ ඇන්ටිත් අනිත් ගෑනු ළමයි දෙන්නත් කොට්ටම්බ ගහ යට බලාගෙන හිටියා. සුජානි ඒගොල්ලෝ එක්ක වචනයක් වත් කතා කළේ නැහැ. ඒත් ගේට්ටුව ළඟට ගිහින් දෙබල උඩ හිටිය පුංචි යකා දිහා එක එල්ලේම බැලුවා. හිනාවෙලා අත වැනුවා. ඊටපස්සේ යන්න ගියා. එදාමයි පුංචි යකාට හිතුණේ වෙන ගහක් හොයාගන්න ඕන කියලා. මේ ගහ ගෙටත් බරවෙලා වැඩියි. කොයි වෙලේ කපා දායිද දන්නෙත් නැහැ ..පුළුවන් නම් ගොඩක් දුරක තියෙන ගහක්... මිනිස්සු නැති පළාතක.

Published in Dinamina- 04. 11.2011

Saturday, November 19, 2011

මුද්ද

ඉස්ඉස්සෙල්ලාම මුද්දක් ගන්න යද්දී ඇස් ගිනි කන වැටිලා තිබ්බේ. කඩේදී නෙමෙයි.කඩේට යන්න කළින්ම. වෝග් එකේ වාඩිවෙලා වටපිට බලද්දී නිකම් කලන්තේ වගේ දැනුනා. ඒ තරමට මෝස්‌තර. අන්තිමට වරුවක් ගිහින් එකක් තෝරා ගත්තා. උදවු කරපු ගෑනු ළමයා මූණේ ගැලවෙන්නේ නැති හිනාවක් අලවාගෙන මයි හිටියේ. මට ඒ වෙලාවෙත් හිතුනා මොකද මෙයා මෙතරම් හිනාවෙන්නේ කියලා. ඒත් හරියටම තේරුනේ නැහැ. "මේ ඇඟිලි හරි පුංචියි නේ!" ඈ කිව්වා. "ටිකක් ලොකුවට මුද්ද හදාගන්න". ඈ දැනුම් තේරුම් ඇතිව කිව්වා නිසා අපි එකඟ වුනා. අන්තිමට මුද්ද ගන්න යන දවසේ මුද්ද දාපු පෙට්ටියත් එක්ක සහතිකයකුත් ලැබුණා. "මුද්ද ඕනෙම දවසක අපි ආයෙත් ගන්නවා- අල්ලපු ගල් වල සම්පුර්ණ වටිනාකම එදාට දෙනවා". ඈ සහතිකය පැහැදිලි කළා- අර අලවපු හිනාව පිටින්ම. හිනාව වගේම සහතිකේ තේරුමත් මට තේරුනේ නැහැ. ඒත් ඒවා ගැන හිතන්න වෙලාවක් තිබ්බෙත් නැහැ.
.
ඔහොම ගිහින් මුද්ද ඇඟිල්ලට වැටුණා. ලොකුවට හදාගත්තට මොකද මුලදී මුද්ද හරි බුරුලයි. කමිස පොඟන්න දාපු බේසම ඇතුලෙම දවස් දෙක තුනක් නැතිවුණා. "ඒක වත් පරෙස්සම් කරගන්න බැහැනේ"කියලා හැමෝම බනීවි කියලා හරිම අමාරුවෙන් මම ඒක බලාගත්තේ. ගලවලා තියන්නත් බැහැ දාගෙන ඉන්නත් බැහැ. ඒත් ටිකක් කල් යනකොට මුද්දේ ගානට ඇඟිලි මහත් උනා. තවත් ටිකක් කල් යනකොට මුද්දේ ගානටත් වැඩිය ඇඟිලි මහත් උනා. මුදු කඩේ ගෑනු ළමයාගේ කතාවේ ඇත්ත තේරුණේ එතකොටයි. ඕනේ වුනත් දැන් නම් ගලවන්න බැහැ. මුද්ද දාපු ඇඟිල්ල, මුද්ද යට හීනි වෙලා. සුදුමැලි වෙලා. හරියට එතනට ලේ පිරෙන්නේ නැහැ වගේ. දවසක් ගවුම් පොඩි වල මල් මහද්දී එතන ඉඳිකටුව ඇණුනා. ඒත් පුදුමෙකට එතන කිසි හැඟීමක් දැනීමක් නැහැ. මට හදිස්සියේ මතක් වුනා මුදු කඩේ ගෑනු ළමයාව. ඈත් මුද්දක් දාගෙන හිටිය බව. මම ඈ වගේ හිනාවක් මූණේ අලවාගන්න බැලුවා. අමාරුම නැහැ. ලබන මාසේ නංගි යනවා එයාගේ මුදු තෝරන්න. එයාටත් කියන්න ඕනේ මුද්ද ලොකුවට හදාගන්න කියලා. . අර සහතිකේත් ඉල්ලගන්න කියලා. පස්සේ බැරියැ මූණේ හිනා අලවන්නේ කොහොමද කියලා කියලා දෙන්න

කළු- සුදු

නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා.නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා.සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.

"මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න ... බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ.."
හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහල ඉන්න මිසීලා, සර්ලා බාලාංශේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.

නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා. සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්. ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිළ ඇඳුම වගේ කොට කලිසම මයි ඇන්දේ.

"ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න.."

කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.

සිරිදාස අයියාට නයිස් මුණ ගැහුනේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න "නයිස්..නයිස්..!!" කියනවා ඇහිලා, පෙරලාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔලුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔලුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට අතකුත් ලෙවකෑවා.

නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවුණ ළමයෙක්ව "වගකීමක් නැහැ!" කියලා බැනලා එලවා ගත්තා. ඒත් හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිණි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළා. කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශේටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් එකට විරුද්ධ නොවුණේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.

"ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!" දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. "ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!" කොල්ලෝ එදාට එකිනෙකාට විහිලු කරගන්නවා. ඒත් මේ සැරේ නම් කවුරුවත් විහිලු කළේ නැහැ. "එතකොට නයිස්?" හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ. " උපකුලපතිගෙන් අහලා බලමුද?" එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙලින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චන්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ."මට බැහැ මට ගිය සතියෙත් බැන්නා.." "හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ" එක එක්කෙනා පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට ඔක්කොමලාව නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උනා.

"මොකා..නයිස්???" ඇහුව ගමන් සිරිදාස අයියා ඇඟට කඩාගෙන පැන්නා.
"නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි.."
"මම කාටවත් කෑම දෙන්නේ නැහැ... දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??" සිරිදාස අයියා ගෝරනාඩු කළා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.
"ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ.."
එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.
" ආ ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා." සිරිදාස අයියා අහක බලාගෙන හිමින් කිව්වා.
"කියනවා එහෙම නෙමෙයි කාටවත්..දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!" ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.

ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී බනින එක නම් ඉබේම වගේ අඩු වුණා.