Monday, July 26, 2010

සිසිරයේ මල් කැකුළු


සීත සුළඟට බියව සසලව
පත් හැලුණු මේ කටුක අතු අග
ලොවට රහසින් කැකුළු මල් පොඩි
පිපෙන්නට වෙර දරන තාලය!

කලාතුරකින් එබෙන හිරු ඉරි
වෙතට මුළු හදවතින් පෙම් බැඳ
මොහොතකට අමතක කළා වද
තවම සිසිරය දුරුව නැති වග..?

Thursday, July 22, 2010

....

නෙතු රිදෙන දුරක සිට
නුඹ එවන සුසුමකට
නෙතු පොඟන කඳුලකට
පෙම් බඳිමි හැමදාම...

ඉදින් මේ කැළඹීල්ල
සැනසිල්ල, ලතැවිල්ල
සිත සොයන නැළවිල්ල
සොඳුරු වෙයි හැමදාම...

Tuesday, July 20, 2010

කවි ඔරුව

අකුරු අමුණා කවි ගොතන්
පිරූ පත්ඉරු නුඹ නමින්
තනා ඔරුවක්
පා කලෙමි මම...
මහා වැස්සේ සැඟවියන්!!

Monday, July 19, 2010

Pretend


I can pretend to be strong
as long as you don’t know I cry...
I can pretend not to care
as long as you are not holding me close..
I can pretend it is so easy
as long as you never see the effort...
I can pretend you are mine
as long as dreams exist…

නොහඬමි

නුඹ ළයේ හිස හොවා
ගෙවන මේ තත්පරය
කඳුලකට ඉඩ නොදී
සුසුමකට ලං නොවී
නෙතු පියා නිසල වෙමි
එකම එක අසුරු සැන
කල්පයක් වන තුරුම...
ලෝකයම අප නිසා
නවතිනා දින තුරුම...

Saturday, July 17, 2010

....

නුඹේ දයාබර බවම
දෝතකට අරගන්න
හදවතේ සඟවන්න
නිරතුරුව සිතේ මට...

රැය පුරා නිදි වරණ
ඉහ ළඟම තනි රකින
ඒ දයාබර බවම
අරුමයකි මගේ හිතට...

Friday, July 16, 2010

තරු වැස්ස














අර බලන් අහස තල
දිදුල දෙන තරු වැස්ස
දෙව් විමන් පිස වැටෙන
අසංකේය තරු පන්ති...
තුඩින් තුඩ නොකිව් පද
මුවින් මුව නොගැයූ ගී
තරු වෙලා අහස් ගැබ
පතිත වේ පොලෝ වෙත...
අහුලලා මේ වැටෙන
තාරකා පියලි හැම
ලොව අහිමි හැම පෙමට
මවන්නම් සමරුවක්..!

Wednesday, July 14, 2010

ක්ෂිතිජය, නුඹ-මම

අහස සිඳු සේ
බැඳී ඇත අප
ක්ෂිතිජ රේඛාවේ...
ලොවට මිරිඟුව
ලෙසින් පෙනුනද
එයයි අප සෙනෙහේ...
දෑත දිගු කර
අහස් කුස වෙත
සිඳු හඬයි රහසේ...
සයුරු රළ සිඹ
අහස සසැලෙයි
මන්මත්ව පහසේ ...