Thursday, November 25, 2010

තුරල් වැහි
















සතර අත කළු කරන්
කඳුළු මිරිකන අහස
අහම්බෙන් ඇස ගැටුණි
සිනහා උතුරන දෑස
එකතු වී වලාකුළු
කියා තුඩ තුඩ රහස
රන් රුවැති ඉර මලට
තිමිර ඇරියා විගස

Monday, November 22, 2010

ගිම්හාන

ගහකොලද දළු සිඳී
සුළං රැළි නිදි වැදී
බරැති හුස්මන් පමණි
සතර අත ඇදි ඇදී
හිරු කිරණ මැද රිදී
මල් කැකුළු පණ අදී
ගිම්හාන මාසයක
තතු ඇසෙයි රැව් දිදී

Sunday, November 21, 2010

chaos theory

ඒ සමනල තටුව හැර
වෙන සමනල තටුවක්
සසල විණි නම්..
නුඹම
වෙනස් කුණාටුවක් වෙනවාද ?

Saturday, November 20, 2010

නමක්?

හදවතේ ගැඹුරු තැන
නිරතුරුව කැළඹවූ
දෙතොල් අග හස රඳා
නෙත කඳුළු පුරවලූ
මතක රැඳී පොතක් සේ
හුරුපුරුදු බව කියූ
සිතේ නුඹ ඇඳි ඉරට
මට නමක් පවසනු

Thursday, November 18, 2010

විස කටු මැද


විස කටු මැද පිපි
මුදු පෙති සිපගමි
සීරුණු තොල්අග
සිනහම රඳවමි
මල මුදු සුවඳින්
රිදුම් ඉවතලමි
කටු වල පැටලුනු
සිහිනය සුරකිමි

Wednesday, November 17, 2010

තුති!

පිටු අතර මගේ කවි
රඳවන්න වෙහෙස වූ
නුඹේ අතැඟිලි සිඹිමි..

නුඹේ ළබැඳි බව ළඟදී
නෙත උනන කඳුළු කැට
ඉතින් සඟවා ගනිමි..

Tuesday, November 16, 2010

කිව මැන

මගේ සුසුමට
තවත් නුඹගේ
එකම සුසුමක් මුහු කරනු මැන
නුරා නෙතු අග
පිපෙන හැඟුමන්
සිහිනයක් නොව සපථ කළ මැන
හද කුටිය මැද
අගුළු ලාගෙන
නවාතැන් ගත් අයුරු කිව මැන
පැතුම් නුපදා
මතක අද්දර
දිවි ගෙවන'යුරු කියා දෙනු මැන

Saturday, November 13, 2010

නෑකම

කවුළුවෙන් ඈත ඉම
නෙතු දිවෙන මානයේ
පුංචි කහ මල් ගැවසි
අති විසල් ගසක ඇත
වැටෙනමහා වැසි මැදත්
හෙමි හෙමින් හිස සලා
සිනාසෙන ඒ ගසට
ඈත නෑකමක් ඇත