Sunday, June 19, 2011

දුර

අතු ඉති නමා බිමටම
හමන මේ සැඩ සුළඟට
දුන් හාදු ටික රහසේම
නුඹට දුන්නද හරියට..?
සප්ත සාගර පසුකර
නුඹේ සුවඳ ඇති පෙදෙසට
හාදු අහුරත් අරගෙන
එද්දී සුළඟත් නිවිලාද..?

Saturday, June 18, 2011

නොපෙනෙන

නොපෙනුනත් රෑ කල
කැකුළු පූදී අතු අග
නිදන නෙත සිහිනය මැද
ඇසෙයි මල්වල මිමිණුම
යා නොහැකි දුර වුව
මල් සුවඳ ඉගිලෙයි රෑ යම
මතකයන් පිරිමැද
දහක් මල් පුබුදවයි හද තුළ

Friday, June 10, 2011

මෙහෙම්මම
















මෙහෙම්මම මේ කඳු පෙළ
දුකක් නැති සේ හිටියට
බුබුළු දමමින් හද තුළ
කඳුළු ඇති බව දන්නේද?

මෙහෙම්මම මේ නිල් දොළ
දඟ ගමනකින් ගැලුවට
කන්ද නොහෙලූ කඳුලැලි
එහි සැඟවී බව දන්නේද?

මෙහෙම්මම මේ ගල් කුළ
පාර අවුරා උන්නට
දොළේ කඳුලැලි ගීයට
තාල ලූ බව දන්නේද?

මෙහෙම්මම මේ මද නල
තුරු මුදුන් පිරිමැද්දට
කඳු පෙළින් නැඟි සුසුමන්
එහි රැඳුණු බව දන්නේද?

Tuesday, June 7, 2011

එනවාද?

ළය මැද රිදෙන තරමට
පැතුම් දහසක් පැතුවොත්
එකම එක පැතුමක් සේ
සැබෑ වී ඔබ එනවාද?

කඳුළැලි උනන තරමට
දෙනෙත් පියවා උන්නොත්
එකම එක දසුනක් සේ
සිහිනයට නුඹ එනවාද?

Saturday, June 4, 2011

ගැහැණු ළමයිනේ

ජීවිත කාලයක් පුරාවට
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය,
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,

ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට

Wednesday, June 1, 2011

sunny winter day

අළු අහස ඉරාගෙන
දිදුල දෙන හිරු වගේ
නුඹේ සිනා එක බිඳක්
දිලිසෙමිනි හදවතේ...
සිසිරයට හිමිනැතත්
උණුහුමක් හිරු මලේ
නොතකාම, නොසිතාම,
හිරු දිලෙයි නුබතලේ...

Tuesday, May 31, 2011

වැළපෙනා විලෝ තුර




















තණබිමට ඉහිරිලා
දුර ඉඳන් හඳ එළිය
වැළපෙනා විලෝ තුර
පාමුලය තරු කැකුළ...
හිස්ම හිස් හිතක් ගෙන
ඇවිදයමි අඳුර මැද
මුළු ලොවට රහසින්ම
වළලන්න කඳුළු නෙත...
රළු පරළු මුල් අතර
මතක යවුලෙන්ම කැණ
විලෝ තුර පාමුලෙහි
වළලා යමි මගේ දුක..
ඉතින් මේ මොහොත සිට
වැළපෙනා විලෝ තුර
තව තවත් හඬන්නට
නුඹට හේතුවක් ඇත

Sunday, May 22, 2011

රුව

ඉඳහිටක ගොඩවෙමි
මතකයේ ගබඩාව වෙත
අගුළු ලූ ද්වාර පසුකර
එළඹෙමි රහස් කුටියට

හිස මඳක් ඇලකර
දෙනෙත පුරවා මඳහස
ඈතක බැල්ම යොමුකළ
නුඹේ රුවක් සඟවා ඇත

මොහොතකට ගෙන දෑතට
යළිත් කටපාඩම් කර
තිබූ තැන්හිම සඟවා
අගුළු ලා නික්මෙමි මම