Thursday, December 30, 2010

...................


එනවද
හිතේ උතුරන
මේ හිස් බව පුරවන්න?
එකම එක හිනාවක්
පුංචි හාදුවක්
වුනත් ඇති
......................
ඇත්තටම නම් මදි...
ඒත්
මම ඇති කර ගන්නම්

Tuesday, December 28, 2010

එනවාද බලන්නට?

නොකියනා දහක් දේ
නුඹ කියාදෙන දිනට
නොපතනා දහක් දේ
පතන්නට හැකි දිනට
හිරු සඳුත් මුණගැසෙයි
එනවාද බලන්නට?

Sunday, December 26, 2010

නොපිරෙනා සිත

හිතේ ගැඹරක
වෙලෙන කඳුලක්
කවි වෙලා නිති නුඹ නමින්
පුරා පත් ඉරු
පා කරන්නෙමි
ලය පුරා නැගී සුසුමකින්
එකවි එක එක
වැටුණු තැනකින්
අහුලගෙන යන එන දනන්
හැඩයි කිව්වත්
නොපිරෙනා සිත
තවත් ලතවෙයි නුඹ සොයන්

Tuesday, December 21, 2010

මුතුත් කඳුලකි

වෙරළ සිප සිප
හඬන රළ පෙළ
ළවැලි බිඳ බිඳ
සොරා ගෙන යති
එවැලි සඟවා
මුතුම තනවා
යළිත් වෙරළට
තිලිණ දී යති
සදා ළඟ හිඳ
වැළඳගන්නට
නොහැකි ලෝකෙක
මුතුත් කඳුලකි

Sunday, December 19, 2010

Saturday, December 18, 2010

දුරක සිට

මේ වහින මහා වැස්ස
නුවරටත් වහිනවද?
වැව් රවුමේ වාඩිවී
වැහි පොදට තෙමෙනවද?
දිලෙන එළි සේයාව
වැව් දියේ පෙනෙනවද?
දඟ සුළඟ දිව ඇවිත්
කෙහෙ අවුල් කරනවාද?
ඈත කඳු මුදුන් වල
වළා ඇස ගැටෙනවද?
තරු එළිය වගේ මතක
නිවි නිවී දිලෙනවද?

Friday, December 17, 2010

සිහිනයයි නුඹ

දෑස් අරිනට මොහොතකට පෙර
හදේ තැවරුණ සිහිනයයි නුඹ

උණුහුමත් නුඹේ සුසුම් සුවඳත්
සැබෑ ලෙස විඳි සිහිනයයි නුඹ

දෑත දිගු කර වැළඳ ගන්නට
දෑත දිග මදි සිහිනයි නුඹ

දෑස් ඇරි එක ඇසුරු සැණෙකින්
බොඳවෙලා මැකි සිහිනයයි නුඹ

Thursday, December 16, 2010

පහන් සිල

දුර ඈත කඳු හිමක
දැල්වෙමින් එළිය දෙන
කැල්ම නිති සිත නිවන
පහන් සිල නුඹයි මට
නුඹ ලොවේ අඳුර මිස
මගේ ලොවේ අඳුරු පට
බිඳින්නේ කෙලෙසකද
මගේ පුංචි පහන් සිල?