Sunday, December 4, 2011

පිස්සු

මට හිටිය ගමන් හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න. එහෙම හිතෙන්නේ පිස්සු තියෙන අයට කියලා මම දන්නවා. ඒත් මට පිස්සු නැහැ. පිස්සෝ තමන්ට පිස්සු නැහැ කියලා කියන බවත් මම දන්නවා. යනවට නෙමෙයි, ඇත්තටම ඔලුව හැරුණු අතේ යන්න පුළුවන්ද? ඔන්න අපේ පාර දිගේ කෙළවරට මුලින්ම ඇවිදගෙන යන්න වෙනවා. තාම ටික ටික සීතල තියෙන නිසා කබායක් ගෙනියනවද.. නිකම්ම ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් යනවද? සෙරෙප්පු වත් නැතිව යනවාද.. අයියෝ.. ඔලුව හැරුණු අතේ යනවානම් මේවා හිතන්න ඕන නැති වෙන්න එපායැ. ඔන්න ඔහේ යනවා.. ගෙවල් දෙකකට එහා ඉන්දියන් ගෑනු කෙනා තිස්සෙම පාර බලාගෙන ඉන්නේ.. කාව හරි කතාවට අල්ලා ගන්න. එයාගෙන් මිදෙන්නේ කොහොමද? බිම බලාගෙන යනවා. කතා කළත් ඇහුනේ නැති ගානට. හැමෝම මාව හොයද්දි ඒ ගෑනි වත් කියන්නේ නැතෑ අහවල් වෙලාවේ අහවල් විදිහට ගියා කියලා. ඇත්තටම මම මේවා හිතන්නේ මොකටද? තාම පාරෙන් එහාට වත් ගියේ නැහැ!

අපේ පාර මහා පාරට වැටෙන තැනම තියෙනවා බස් නැවතුම. ඒකෙන් බස් එකක් ගන්න පුළුවන්. ඒත් එතකොට ඔලුව හැරුණු අතේ යනවා වෙන්නේ නැහැනේ. බස් එකේ ගමනාන්තය මගේ අරමුණ වෙන්නේ නැද්ද? බස් එකේ ටිකට් මැසිමට දෙන්න මාරු කාසි ගෙනියන්න වෙනවා නේද? ගෙදර මාරු කාසි තිබ්බද? ඔන්න ආයෙත් ඉතින් මම සිල්ලර දේවල් හිතනවා.. හරි බස් එකේ නැග්ගා කියමු. බස් එක අන්තිමට නවත්තන්නේ ස්ටේසමේ. එතැනින් නම් ටිකක් විතර ලේසියි ඔලුව හැරුණු අතේ යන්න. කෝච්චි කීපයක්ම යන එන තැන නේ. ලොකු නගරෙනුත් එහාට ඔලුව හැරුණු අතේ යනවාද? ඊට පොඩ්ඩක් මෙහාට යනවාද? අයියෝ එතනත් ටිකට් මැසිමක් තියෙනවානේ. ඒ කබලට විස්සේ කොල දාන්න බැහැ. ආයෙත් එළියට එනවා. ගිය බදාදා මම විස්සේ කොළයක් දාලා...නෑ නෑ ඒවා වැඩක් නැහැනේ. මම මේ ඔලුව හැරුණු අතේ යනවානේ. කොහොම හරි කෝච්චියක නැග්ගා කියමු. දුරම යන එකක. අවේලාවක ගියොත් වාඩිවෙන්න නම් ලැබේවි. නැත්නම් දුර යනකොට කකුල් රිදෙනවනේ. බඩගිනි වෙයිද මට? කෝච්චියට නගින්න කලින් මොනවා හරි කන්න ගන්න තිබුණාද? මේවා එකක් වත් හිතන්න ඕනද? හිතන්න ගියහම තව දේවල් මතක් වෙනවා. මම ඔළුව හැරුණු අතේ ගියොත් මගේ රෝස පැළ ටිකට වතුර දාන්නේ කවුද? ඒවා හොඳට අතු බෙදෙනකම් වතුර දාන්න කියලයි මල් පැළ කඩේ මනුස්සයා කිව්වේ. අනේ අපරාදේ මැරිලා යයිද? ඇයි අර හැමදාම පාන් කෑලි කන්න එන සුදු කොකටූ ගිරා ජෝඩුව! උන් දෙන්නාට පාන් දෙන්නේ කවුද? පොඩ්ඩක් පරක්කු වුණත් හරි ගෝරනාඩුව කෑම ඉල්ලලා... එක්කෝ ඔන්න ඔහේ මම ගෙදරම ඉන්නවා...රෝස පැළ ටිකත් තාම පොඩියි.. ගෙදර මාරු කාසිත් නැහැ..අනිත් එක මට පිස්සුත් නැහැනේ.

8 comments:

  1. ගති!
    මගේ ඔළුවත් ටිකක් විකාර උනා මේක කියවලා :D

    ReplyDelete
  2. ඔලුව හැරුනු අතේ යන්න නම් සැලකිවයුතු මුදලක් හෝ බැංකු කාඩ් එකක් සාක්කුවෙ තියෙන්න ඔනේ.
    ඉටප්ස්සේ ගෙදරින් එලියට බැහැලා එවෙලෙට හිතෙන විදියට යන්න ඔනේ. ගෙදරින් එලියට බහින්න ඉස්සෙල්ල යන්න ඔනේ තැනක් මුකුත් ගැන හිතන්න යන්න එපා.
    බස් එකක යනවා නම් එකේ ගමනාන්තයටම යන්නම ඔනේ නෑ. එකපාරටම හිතුනොත් බස් එකෙන් බහින්න.

    මාත් මේ කාලේක ඉදන් හිතාගෙන ඉන්නවා ආසාවට ඔහොම ගමනක් යන්න. එත් එක කෙරෙන පාටක් නෑ.

    ReplyDelete
  3. නෑ නෑ ඔයාට පිස්සු නෑ සහෝදරී. හැබැයි මටනම් දැන් ටිකක් පිස්සු වගේ මේක කියවලා.

    ReplyDelete
  4. ස්තූතියි හැමෝටම.. :)

    ReplyDelete
  5. සමහර වෙලාවට මටත් මෙහෙම හිතෙනවා අප්පා...

    ReplyDelete
  6. අහා,,,අන්තිමේදි කෙටි කතාව බ්ලොගේට වැටිලා..මං මේක මූණූ පොතෙන් කියෙව්වා ගොඩ කාලෙකට කලින්නේත් බ්ලොගේට දාන්නෙ කවි විතරක්ද දන්නෑ කියල හිතුවා.. :))

    ReplyDelete
  7. මංචි- අලුත් බ්ලොග් එකක් හදන්න තියෙන කම්මැලි කමම තමයි! :)

    ReplyDelete
  8. කියෝල මටත් පිස්සු ඩබල් වුනා

    ReplyDelete