Saturday, December 24, 2011

letting go

උඩඟු කඳු මුදුනට
වගක් නැති බව දැන දැන
නිතර ළඟ දැවටෙන
වළාකුල දුටුවේද නුඹ?

කඳු මුදුන අතහැර
රිදෙන ගමනක් යන්නට
හිත හදාගෙන, මොහොතක්
හැඬූ හැටි දුටුවේද නුඹ?

Monday, December 19, 2011

කඳුළු නොගනින

ඉඳහිටක දුර ඉඳන් හඬන හඬ
හීන් සරකින් සවන වැකෙනවා
ළඟ ඉඳන් සනහන්න නොහැකි දා
සිනහවක් වී කඳුළු පිසිනවා

මඟ දෙපස මා නිතර යනෙන අත
නුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවා
දෝතකට නෙලන්නට නොහැකි මුත්
දුර තියා නුඹේ සුවඳ දැනෙනවා


නිදි නොනිදි අතර මැද නතර වී
හීනයක කොණක නුඹ තැවෙනවා
දෑත දිගු නොකර හදවත වසා
කඳුළු නොගැනම සිනහ මවනවා

Friday, December 16, 2011

looking forward

අදිසි අතැඟිලි අගින්
අවුල් කර තුරු මුදුන්
සුළඟ දඟ කලත් නිති
හෙටත් තුරු මඟ බලන්!

Wednesday, December 14, 2011

කුරුටු

හිතේ එක දාරයක
ඇදුම්කන එක තැනක්
නුඹ කුරුටු ගා ගිහින්
වදන් නැති පද පෙළක්

Sunday, December 11, 2011

එළිය

නුඹ...
එළියක්ව
නතරවන තුරු මා ළඟ

මා රටාවක් බව
නොදැන සිටියෙමි
මමම...

Saturday, December 10, 2011

හඬන්නී

ගිනිගත්තු දහවලේ
වළා සළුවක එතී
සිනාසෙන මං සෙවූ
අහස ඇත අඳුරු වී
හවස් කල එළඹෙද්දී
තවත් ඉවසනු නොහී
අනෝරා වැසි එවා
මහා හඬින් හඬන්නී

Sunday, December 4, 2011

පිස්සු

මට හිටිය ගමන් හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න. එහෙම හිතෙන්නේ පිස්සු තියෙන අයට කියලා මම දන්නවා. ඒත් මට පිස්සු නැහැ. පිස්සෝ තමන්ට පිස්සු නැහැ කියලා කියන බවත් මම දන්නවා. යනවට නෙමෙයි, ඇත්තටම ඔලුව හැරුණු අතේ යන්න පුළුවන්ද? ඔන්න අපේ පාර දිගේ කෙළවරට මුලින්ම ඇවිදගෙන යන්න වෙනවා. තාම ටික ටික සීතල තියෙන නිසා කබායක් ගෙනියනවද.. නිකම්ම ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් යනවද? සෙරෙප්පු වත් නැතිව යනවාද.. අයියෝ.. ඔලුව හැරුණු අතේ යනවානම් මේවා හිතන්න ඕන නැති වෙන්න එපායැ. ඔන්න ඔහේ යනවා.. ගෙවල් දෙකකට එහා ඉන්දියන් ගෑනු කෙනා තිස්සෙම පාර බලාගෙන ඉන්නේ.. කාව හරි කතාවට අල්ලා ගන්න. එයාගෙන් මිදෙන්නේ කොහොමද? බිම බලාගෙන යනවා. කතා කළත් ඇහුනේ නැති ගානට. හැමෝම මාව හොයද්දි ඒ ගෑනි වත් කියන්නේ නැතෑ අහවල් වෙලාවේ අහවල් විදිහට ගියා කියලා. ඇත්තටම මම මේවා හිතන්නේ මොකටද? තාම පාරෙන් එහාට වත් ගියේ නැහැ!

අපේ පාර මහා පාරට වැටෙන තැනම තියෙනවා බස් නැවතුම. ඒකෙන් බස් එකක් ගන්න පුළුවන්. ඒත් එතකොට ඔලුව හැරුණු අතේ යනවා වෙන්නේ නැහැනේ. බස් එකේ ගමනාන්තය මගේ අරමුණ වෙන්නේ නැද්ද? බස් එකේ ටිකට් මැසිමට දෙන්න මාරු කාසි ගෙනියන්න වෙනවා නේද? ගෙදර මාරු කාසි තිබ්බද? ඔන්න ආයෙත් ඉතින් මම සිල්ලර දේවල් හිතනවා.. හරි බස් එකේ නැග්ගා කියමු. බස් එක අන්තිමට නවත්තන්නේ ස්ටේසමේ. එතැනින් නම් ටිකක් විතර ලේසියි ඔලුව හැරුණු අතේ යන්න. කෝච්චි කීපයක්ම යන එන තැන නේ. ලොකු නගරෙනුත් එහාට ඔලුව හැරුණු අතේ යනවාද? ඊට පොඩ්ඩක් මෙහාට යනවාද? අයියෝ එතනත් ටිකට් මැසිමක් තියෙනවානේ. ඒ කබලට විස්සේ කොල දාන්න බැහැ. ආයෙත් එළියට එනවා. ගිය බදාදා මම විස්සේ කොළයක් දාලා...නෑ නෑ ඒවා වැඩක් නැහැනේ. මම මේ ඔලුව හැරුණු අතේ යනවානේ. කොහොම හරි කෝච්චියක නැග්ගා කියමු. දුරම යන එකක. අවේලාවක ගියොත් වාඩිවෙන්න නම් ලැබේවි. නැත්නම් දුර යනකොට කකුල් රිදෙනවනේ. බඩගිනි වෙයිද මට? කෝච්චියට නගින්න කලින් මොනවා හරි කන්න ගන්න තිබුණාද? මේවා එකක් වත් හිතන්න ඕනද? හිතන්න ගියහම තව දේවල් මතක් වෙනවා. මම ඔළුව හැරුණු අතේ ගියොත් මගේ රෝස පැළ ටිකට වතුර දාන්නේ කවුද? ඒවා හොඳට අතු බෙදෙනකම් වතුර දාන්න කියලයි මල් පැළ කඩේ මනුස්සයා කිව්වේ. අනේ අපරාදේ මැරිලා යයිද? ඇයි අර හැමදාම පාන් කෑලි කන්න එන සුදු කොකටූ ගිරා ජෝඩුව! උන් දෙන්නාට පාන් දෙන්නේ කවුද? පොඩ්ඩක් පරක්කු වුණත් හරි ගෝරනාඩුව කෑම ඉල්ලලා... එක්කෝ ඔන්න ඔහේ මම ගෙදරම ඉන්නවා...රෝස පැළ ටිකත් තාම පොඩියි.. ගෙදර මාරු කාසිත් නැහැ..අනිත් එක මට පිස්සුත් නැහැනේ.

Thursday, December 1, 2011

first day of summer

රාත්‍රිය නොඑළඹී
දිගම හැන්දෑවක්
ලා අඳුරේ මඟ හොයන
එක කදෝකිමියෙක්
මොහොතකට හිත පොඟා
යළි දුවන වැස්සක්
සුසුම් මෙන් බර නැතත්
පුංචි පවනැල්ලක්!