Saturday, July 31, 2010

පාලුවට තනි රකිමි














කුණාටුව උමතු වූ
වස්සාන ඉසිඹුවක..
කවුළු දොර එපිට රූ
බොඳව ගිය නිමේෂෙක..
උණුසුම් වූ කුටිය තුළ
පාලුවට තනි රකිමි..
හදේ පිරි මේ සීත
කොහෙන්දැයි ගතු සොයමි..

.....

දහවලද රැය පුරා
දෙනෙත් නොවසා තියා
සිහින දුටුවෙමි නිතින
හදේ සෙවනැලි මවා

රුදුරු ගනඳුර ඉරා
නුඹේ දෙනෙත් දැල්විලා
හද කුටිය එකලු විය
දහක් එළි සේ දුලා

මෙතෙක් ආ මඟ පුරා
කඳුළු සලකුණු බලා
පෙරඹරෙහි නුඹ පිපී
නැකත් තරුවක් වෙලා

Friday, July 30, 2010

ළඟ ඉන්න...

දස දහක් සිනා රැළි
මුව මුවඟ සරසන්න...
සුවහසක් කතා පොඩි
නුඹේ කනට කොඳුරන්න...
උණුහුමට තුරුළු වී
සුසුම් රැළි සඟවන්න...
එළඹෙනා දිනක් වෙද
නුඹ මගේ ළඟ ඉන්න...

Wednesday, July 28, 2010

බිම්මල


වළ දැමූ අතීතෙක
දිරා ගිය හීනයක
පිපුණු බිම්මලක් වෙමි
හිරු සමඟ සිනාසෙන

කඳුළු ලකුණු

මෙතෙක් කල් මා
දෑත මිටි කර
සඟවා සිටියේ
සතුට, සිතුවෙමි
දෑත දිගහැර
බැලූ සඳ අද
තනිවූ කඳුලක
ලකුණු දුටුවෙමි

Tuesday, July 27, 2010

කවි උල්පත

කවි උල්පත් සිඳුන සිතක
හේබා ගොස් දැවුණු හදක
නුඹ ඇවිදින් රැඳුණු දිනෙක
සඳුන් සුවඳ දැනුණි සැණෙක

දිය රැළි සේම කවි පදවැල් ගලන දින
හසරැලි තොල'ග නිරතුරුවම රැඳෙන දින
සිහිනය අද්දරක නුඹ තනි රකින දින
එදිනයි ලොවම සොඳුරුයි මට දැනෙන දින

Monday, July 26, 2010

සිසිරයේ මල් කැකුළු


සීත සුළඟට බියව සසලව
පත් හැලුණු මේ කටුක අතු අග
ලොවට රහසින් කැකුළු මල් පොඩි
පිපෙන්නට වෙර දරන තාලය!

කලාතුරකින් එබෙන හිරු ඉරි
වෙතට මුළු හදවතින් පෙම් බැඳ
මොහොතකට අමතක කළා වද
තවම සිසිරය දුරුව නැති වග..?

Thursday, July 22, 2010

....

නෙතු රිදෙන දුරක සිට
නුඹ එවන සුසුමකට
නෙතු පොඟන කඳුලකට
පෙම් බඳිමි හැමදාම...

ඉදින් මේ කැළඹීල්ල
සැනසිල්ල, ලතැවිල්ල
සිත සොයන නැළවිල්ල
සොඳුරු වෙයි හැමදාම...

Tuesday, July 20, 2010

කවි ඔරුව

අකුරු අමුණා කවි ගොතන්
පිරූ පත්ඉරු නුඹ නමින්
තනා ඔරුවක්
පා කලෙමි මම...
මහා වැස්සේ සැඟවියන්!!

Monday, July 19, 2010

Pretend


I can pretend to be strong
as long as you don’t know I cry...
I can pretend not to care
as long as you are not holding me close..
I can pretend it is so easy
as long as you never see the effort...
I can pretend you are mine
as long as dreams exist…

නොහඬමි

නුඹ ළයේ හිස හොවා
ගෙවන මේ තත්පරය
කඳුලකට ඉඩ නොදී
සුසුමකට ලං නොවී
නෙතු පියා නිසල වෙමි
එකම එක අසුරු සැන
කල්පයක් වන තුරුම...
ලෝකයම අප නිසා
නවතිනා දින තුරුම...

Saturday, July 17, 2010

....

නුඹේ දයාබර බවම
දෝතකට අරගන්න
හදවතේ සඟවන්න
නිරතුරුව සිතේ මට...

රැය පුරා නිදි වරණ
ඉහ ළඟම තනි රකින
ඒ දයාබර බවම
අරුමයකි මගේ හිතට...

Friday, July 16, 2010

තරු වැස්ස














අර බලන් අහස තල
දිදුල දෙන තරු වැස්ස
දෙව් විමන් පිස වැටෙන
අසංකේය තරු පන්ති...
තුඩින් තුඩ නොකිව් පද
මුවින් මුව නොගැයූ ගී
තරු වෙලා අහස් ගැබ
පතිත වේ පොලෝ වෙත...
අහුලලා මේ වැටෙන
තාරකා පියලි හැම
ලොව අහිමි හැම පෙමට
මවන්නම් සමරුවක්..!

Wednesday, July 14, 2010

ක්ෂිතිජය, නුඹ-මම

අහස සිඳු සේ
බැඳී ඇත අප
ක්ෂිතිජ රේඛාවේ...
ලොවට මිරිඟුව
ලෙසින් පෙනුනද
එයයි අප සෙනෙහේ...
දෑත දිගු කර
අහස් කුස වෙත
සිඳු හඬයි රහසේ...
සයුරු රළ සිඹ
අහස සසැලෙයි
මන්මත්ව පහසේ ...

සඳ එළිය නුඹ


රැයේ තුන්යම පුරා
නිදි නොමැති නෙතු අරා
සඳ කිනිති සල සලා
සඳ එළිය නුඹ වෙලා ...

ඉතින් මට නිදියන්න
සඳ පහන හකුලන්න
නුඹේ වුවන දැකගන්න
හීනයක් වී එන්න...

Monday, July 12, 2010

unseen love

නිසල තුරු පෙළ සැලූ පවනකි
දිවා අහසක මැවුණු තරුවකි
දහස් හඬ මැද ඇසුණු සුසුමකි
හදේ බිතු මත ඇඳුණු පැතුමකි

විලක ගැඹරක සැඟවී නෙළුමකි
අහස් තල මත තැවරී පැහැයකි
සියොත් රාවෙක සියුම් තනුවකි
අතීතෙන් එන මතක සුවඳකි

Thursday, July 8, 2010

casablanca

කියනු මැන මට
ලොවම පීරා
කිමද මා ළඟ
නතර වූයේ..
සිනහ සඳ කැන්
දෝතටම ගෙන
මසිත් කොඳ පෙළ
පිබිදවූයේ..
හදේ ඇවිලෙන
තැවුල් සිඹ සිඹ
ඔසුම තවරා
සිසිලලූවේ ...
ජීවිතේ තව
එක් වතාවක්
සිනහ ගෙනෙනා
වරම වූයේ..

Tuesday, July 6, 2010

දුටුවෙමි

මසිත් පතුළත අතගා
නුඹ සොයා ගත් මුතු කැට
නුඹ දෑස ගැඹරේම
දිදුලනා හැටි දුටුවෙමි...
මගේ සුසුමක දවටා
නුඹට දුන් පළමු හාදුව
නුඹේ සිත අද්දර
සසැලෙනා හැටි දුටුවෙමි...
සසර මංපෙත අවුරා
ඇඳෙන වියැකෙන රූ මෙන්
දෑඟිලි බැඳුණු සලකුණු
කඳුළු අතරින් දුටුවෙමි...

....

සසල හැම ඇසිපියක් ගානේ
බිඳෙන හැම සුසුම් රැළි ගානේ
ඔබ දැවටී මගේ සිතුම් මානේ
සිනා ඇතිරුවා මිරිඟු හීනේ

Sunday, July 4, 2010

වැහි
















බොඳ කරන් මඩ කඩිති
යළි යළිත් වහින වැහි..
මල් කැකුළු අතු අගින්
බිමට ඇද දමන වැහි..
කළු වළා පොඟවමින්
අසනි දී හඬන වැහි ..
කඳු වළල්ලෙන් එපිට
පාවෙලා යන්න වැහි..!!

Friday, July 2, 2010

නුඹයි!

නොගැයූ හැම ගීයකම සිහින් තනු රැස නුඹයි
නොපිපි හැම කඩුපුලක මතක සුසුවඳ නුඹයි
නොසිඳි හැම උල්පතක සසල දිය රැළි නුඹයි
නොවිඳි හැම හීනයක සොඳුරු ඇරඹුම නුඹයි

සුපැතුම














නුඹ නළල සිඹ
පතන්නෙමි මම
සුභම දවසක
සුභම පැතුමක්...
දුරක සිටියත්
සිත ළඟයි මා
රැගෙන නුඹහට
හාදු අහුරක්...
අදත් හෙට හා
එළැඹි හැම දින
රැඳේවා සිත
නොනිම් සතුටක්...
සිහින සිතුවම්
දෑස අද්දර
මැවී ඉටුවන
සොඳුරු යුගයක්...
ඉතින් සුපතමි
සුභම දවසක්..!
සිතුම් ඉටුවන
සුභම වසරක්..! :*