Saturday, November 26, 2011

පුංචි යකා

පුංචි යකා හිටියේ කොට්ටම්බ ගහේ තුන්වෙනි දෙබලේ. අඟල් හයක්වත් නැතිවුණාට නෙරපු බඩගෙඩියයි, කොට මහත කකුල් දෙකයි නිසා ටිකක් භයංකර පෙනුමක් තිබ්බා. ගොඩක් නෙමෙයි- පොඩ්ඩක් විතර. සමහරවිට කට දෙපැත්තේ තිබුණ ඇබින්දන් දළ දෙක හින්දා වෙන්නත් ඇති. දෙබලේ තිබ්බ පොඩි බෙනේ තමයි පුංචි යකාගේ ගෙදර. එහෙම කිව්වට බෙනේට ගියේ මොරසූරන වැස්සකදී විතරයි. ගොඩක් දවස්වලට රෑට නිදාගත්තෙත් අත්තක් උඩ තරු දිහා බලාගෙනයි. මොකෝ කාටවත් පෙනේවි කියලා බය වෙන්ටයැ. පුංචි යකා සහසුද්දෙන්ම දැනගෙන හිටියා කාටවත් තමන්ව පෙන්නේ නැහැ කියලා. කොට්ටම්බ ගහ පාමුල තිබ්බ ඇනෙක්සියේ නතරවෙලා හිටිය ගෑනු ළමයි ටිකවත්, ඊටම අල්ලලා තිබුණ ගෙදර හිටිය බෝඩිමේ ඇන්ටි වත් පුංචි යකා දිහා කණ ළඟින් ගියත් බලලාවත් නැහැ. ඒ හින්දාම කට්ටියම සමගි සමාදානෙන් හිටියා. පුංචි යකාගේ හිතේ පුංචි අරෝවක් තිබ්බේ බෝඩිමේ ඇන්ටි එක්ක විතරයි. ඉඳලා හිටලා කවුරුහරි ලවා කොට්ටම්බ ගහේ අතු කප්පවන එකට. ඇනෙක්සිය පැත්තට පොඩ්ඩක් බර වෙලා වැඩියි නම් තමයි ගහ. ඒත් එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අතු කපන සිරිතක් තියෙනවද? පුංචි යකා ඉඳලා හිටලා අත්තක් උඩ ඉඳන් කොට්ටම්බ ඇටේකින් පල්ලෙහා අතුගාන ඇන්ටිගේ පස්ස පැත්තට ගහන්නෙත් ඒ කෙන්තියටමයි. ඒත් ඒක එතැනින් ඉවරයි. ඔය තරහ මරහා වැඩිය හිතේ තියාගෙන ඉන්න ජාතියේ යකෙක් නෙමෙයි පුංචි යකා.

ඔක්කොම වෙනස් වෙන්න පටන් ගත්තේ සුජානි බෝඩිමේ පදිංචියට ආවාට පස්සෙයි. පුංචි යකා නම් දැනගෙන හිටියෙත් නැහැ පල්ලෙහා බෝඩිමේ වෙනසක් වුණු බව වත්. දවසක් හොඳට තරු එළිය තිබ්බ රෑක, පුංචි යකා බඩ පැලෙන්න කොට්ටම්බ මද කෑම වේලක් එහෙම දාලා ගහේ බඳට හේත්තු වෙලා අත්තක් උඩ කකුල් දෙක පද්ද පද්ද හිටියා බොහොම නිස්කාන්සුවේ. ගංගොඩවිල කිව්වට ගමක්වත් ගොඩක්වත් විලක්වත් පළාතක නැති නිසා මේ පැත්ත හරි ග්රීස්මයි. ඒ නිසා පල්ලෙහා බෝඩිමේ ජනෙල් වැහෙන්නේ හුඟක් රෑවෙලා. ජනේලෙන් අලුත් මූණක් එබිලා තරු දිහා බලාගෙන ඉන්නවා, ලයිට් එළියෙන් පුංචි යකා දැක්කා. ඒ මොහොතේම වගේ ඒ මූණත් පුංචි යකා දිහා බැලුවා. තමන්ව නොපෙනුණත් අවේලාවේ කාමර වල ඉන්න ගෑනු ළමයි දිහා බලන එක අසන්වරයි කියලා යකෙක් උණත් පුංචි යකා දැනගෙන හිටියා. අහක බලන්න හදනකොටමයි යටිගිරියෙන් කෑගහනවා ඇහුණේ. "ෂුවර් එකටම අදත් පොල් බෑය යට කැරපොත්තෙක්.." පුංචි යකාට හිතුණා. ඒත් එක්කම දැක්කා බෝඩිමේ ගෑනු ළමයි තුන්දෙනාම ජනේලේ ළඟ රොක්වෙලා ඉන්නවා. අලුත් ගෑනු ළමයා පුංචි යකා පැත්තට ඇඟිල්ල දික්කරනවා. අනිත් දෙන්නා උඩ බිම බලනවා
.

."පිස්සුද සුජානි? මොන යකෙක්ද? මම ඔයාට කිව්වා ඔච්චර පාන්දර වෙනකම් පාඩම් කරන්න එපා කියලා" නිලූ ගස්සාගෙන යන ගමන් කිව්වා.

"ඔව් අනේ.. දැන් ඉක්මනට කාලා නිදාගන්න" මන්ජුලාත් කිව්වා.

පුංචි යකා හිමින් සැරේ බෙනේට රිංගුවා. ඒත් පපුව ඩිග් ඩිග් ගානවා. ඇත්තටම ඒ ළමයා තමන්ව දැක්කා වෙන්න පුළුවන්ද? එහෙනම් අනිත් අය නොදැක්කේ කොහොමද? මෙච්චර කාලෙකට කිසිම දවසක් නොවුන දෙයක් එකපාරට වෙන්න පුළුවන්ද? ටික දවසක් යනකම් පුංචි යකා බෙනේටම වෙලා හිටියා. අත්‍යවශ්‍ය දේකට තමයි එළියට ආවේ. කොහොමත් උදේ අටෙන් විතර පස්සේ හවස් වෙනකම්ම පළාතටම මනුස්ස ප්රානයකට ඉන්නෙ බෝඩිමේ ඇන්ටි විතරයි. ඒත් පුංචි යකාගේ හිත ගැස්සුණා එදා වුණ වැඩේට.

 ඔහොම සතියක් විතර ගියහම පුංචි යකාටම හිතුණා මේ මොන විකාරයක්ද කියලා. ඇන්ටි රෙදි වනද්දී පේන්නම ඉඳන් කොට්ටම්බ ඇටේකින් ගහලා බැලුවා. කොහෙද.. ඇන්ටි උඩ බැලුවා මිසක් ළඟම හිටිය පුංචි යකාව දැක්කෙත් නැහැ. "මගෙත් විකාර!" පුංචි යකා තමන්ටම කියලා හිනාවුණා. "එදා වෙන මොකක් හරි වෙන්න ඇත්තේ.. ගෑනු ළමයින්ගේත් තියෙනවානේ එක එක මනස්ගාත". ඔහොම හිතලා හිත හදාගත්තා.

ඒත් හීනෙන් වත් නොහිතපු දෙයක් තමයි ඊළඟ දවසේ උණේ. දවාලේ පුංචි යකාගේ බෙනේට හිකනලෙක් රිංගලා. කෝටුවකුත් අරගෙන ඌව එළවාගෙන යද්දී ඉස්සරහටම හම්බවුණේ සුජානිව. පුංචි යකා ගල්ගැහුණා. ඇයි දෙයියනේ මේ ළමයා උදේ අනිත් අයත් එක්ක ගිහින් නැද්ද? සුජානිගේ අතේ කොත්තමල්ලි පැකට් එකකුයි ක්‍රීම් ක්‍රැකර් පැකට් එකකුයි. නිකම් අසිහියෙන් වගේ පුංචි යකාට හිතුණා අදත් කෑගහයිද කියලා. ඒත් සුජානි කෑගැහුවේ නැහැ. බිමටම පහත්වුණා. හිනා වුණා. පුංචි යකා තාම ගල් ගැහිලා. "මම දැනගත්තා මම එදා ඇත්තටමයි යකෙක්ව දැක්කේ කියලා" සුජානි තමන්ටම වගේ කියාගත්තා. කටහඬේ සද්දේ ඇහුණහමයි පුංචි යකාට සිහිය ආවේ. පස්ස බලන්නේ නැතුව දුවලා දුවලා ගිහින් බෙනේටම රිංගා ගත්තා.

 තමන්ගේ හිතේ බයක් නැතිවෙන්න ගත්තේ හරියටම කවදාද කියලා පුංචි යකාට මතක නැහැ. සුජානි තාප්ප කෑල්ල උඩ පීරිසියක දාලා අළුවා කෑලි දෙකක් තිබ්බ දවසේද? එහෙම නැත්නම් ආයෙත් දවසක අහම්බෙන් රෑක දැක්ක වෙලාවේ යාළුවෙකුට වගේ හිනාවෙලා අත වැනුව දවසේද? එහෙමත් නැත්නම් කාමරේ ඇතුළේ බඩු එහේ මෙහේ කරලා ලියන මෙසේ ජනේලේ ළඟට ගෙනාව දවසෙද? කොහොම හරි සුජානි තමන් ගැන ආයෙත් කාටවත් කියලා නැති බවයි, එයාගෙන් හානියක් නැති බවයි පුංචි යකාට තේරුණා. සුජානිගේ සැලකිලිවල, අත වැනිලි වල පොඩි විශේෂයක් දැනෙන්නත් ගත්තා. වෙනදාට වඩා කාමරේ පැත්ත බැලෙන්නත් ගත්තා.

දවසක් හවස පොඩි නින්දක් දාලා ඉන්දැද්දී හීනෙන් වගේ පුංචි යකාට කටහඬවල් ටිකක් ඇහුණා. හරියටම ගහ යටමයි. "තනියම හිනාවෙනවා.. අත වනනවා.. කවුද ඇන්ටි හිතන්නේ..පීරිසියක දාලා.. මේසේත් ජනේලේ ළඟ.. යකෙක් ගැන .. ලෙක්චර්ස් වෙලාවටත් වෙන සිහියක..අයියාගේ නොම්බරේ...නොකියා බැහැ වගේ..අපි නරක මිනිස්සු වෙයි.." එහෙන් මෙහෙන් ඇහුණු වචන නිදිමතේ හිටිය පුංචි යකාගේ ඔළුව ඇතුළේ හරියටම ගැළපුණේ නැහැ. ඒ කථාවේ සුජානිගේ කටහඬ තිබ්බේ නැති නිසා පුංචි යකා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.

දවස් දෙකක් යන්න කලින් උදේක කාර් එකක් ඇවිත් ගේට්ටුව ළඟ නැවැත්තුවා. පිරිමි කෙනෙකුයි වයසක ගෑනු කෙනෙකුයි ඇනෙක්සියට ගියා. ටික වෙලාවකින් සුජානි සූට්කේස්එකක් අරගෙන ඒගොල්ලොත් එක්ක කාර් එක ළඟට ගියා. බෝඩිමේ ඇන්ටිත් අනිත් ගෑනු ළමයි දෙන්නත් කොට්ටම්බ ගහ යට බලාගෙන හිටියා. සුජානි ඒගොල්ලෝ එක්ක වචනයක් වත් කතා කළේ නැහැ. ඒත් ගේට්ටුව ළඟට ගිහින් දෙබල උඩ හිටිය පුංචි යකා දිහා එක එල්ලේම බැලුවා. හිනාවෙලා අත වැනුවා. ඊටපස්සේ යන්න ගියා. එදාමයි පුංචි යකාට හිතුණේ වෙන ගහක් හොයාගන්න ඕන කියලා. මේ ගහ ගෙටත් බරවෙලා වැඩියි. කොයි වෙලේ කපා දායිද දන්නෙත් නැහැ ..පුළුවන් නම් ගොඩක් දුරක තියෙන ගහක්... මිනිස්සු නැති පළාතක.

Published in Dinamina- 04. 11.2011

16 comments:

  1. lassanai mage nanga.... thawath lassanata liyanna obata diri labewa.
    budu saranai
    (NH)

    ReplyDelete
  2. මලිති ලියපු කතාවලින් මම ආසම කතාව මේක තමයි.

    ReplyDelete
  3. 'සත්සිහින' දැඩි ස්ථාවරයන් මදක් ලිහිල් කොට අලුත් පාරක.......... :)
    සුබ පැතුම් මලිති !!

    ReplyDelete
  4. Great Story. Keep Up Writing

    ReplyDelete
  5. පාආආආඅව් පුංචි යකා
    සුජානිත් පවු .

    ReplyDelete
  6. යක්කු හොඳ වැඩියිද මංදා..?
    ලස්සන කතාව...

    ReplyDelete
  7. "ගෑනු ළමයින්ගේත් තියෙනවානේ එක එක මනස්ගාත"
    හික්z

    ReplyDelete
  8. දැනුයි දැක්කේ පස්සෙ කියවලා තසමන්ට් කරන්නම්

    ReplyDelete
  9. පුංචි යකාටත් ආදරයක් හිතිලද කොහෙද..

    ReplyDelete
  10. හරිම ලස්සන කතාව! පුංචි යකාගේ පුංචි කතාව. :)

    ReplyDelete
  11. punchi yakata witharak nemei ,me kathawa kiyeuwama eka liuwa kena gana matath ADARAYAK hithuna.... (NH)

    ReplyDelete
  12. කියවපු හැමෝටම බොහොම ස්තුතියි!

    කාංචනා- පත්තරේ පල කළාට ආයෙත් ස්තුතියි!

    charmi- දැඩි ස්ථාවරය වෙනස් කළා අලුත් බ්ලොග් එකක් හදන්න තියෙන කම්මැලිකමටම..:)

    ReplyDelete
  13. උදෙන්ම මාරයා තමා කිව්වෙ මේ කතාව ගැන. ගොඩක් ලස්සනයි. මුල ඉඳන් අගටම කිසි හැප්පිල්ලක් නැතුව ගලාගෙන යනවා. ජය!

    ReplyDelete
  14. යක්කුන්ටත් ආදරේ දැනෙනවා එහෙනම්... පුංචි යකාගේ ෆස්ට් ලව් එක වෙන්නැති... :(

    කතාව මරු..!

    ReplyDelete
  15. මේක හරිම ලස්සන කතාවක්!

    ReplyDelete