Saturday, November 19, 2011

මුද්ද

ඉස්ඉස්සෙල්ලාම මුද්දක් ගන්න යද්දී ඇස් ගිනි කන වැටිලා තිබ්බේ. කඩේදී නෙමෙයි.කඩේට යන්න කළින්ම. වෝග් එකේ වාඩිවෙලා වටපිට බලද්දී නිකම් කලන්තේ වගේ දැනුනා. ඒ තරමට මෝස්‌තර. අන්තිමට වරුවක් ගිහින් එකක් තෝරා ගත්තා. උදවු කරපු ගෑනු ළමයා මූණේ ගැලවෙන්නේ නැති හිනාවක් අලවාගෙන මයි හිටියේ. මට ඒ වෙලාවෙත් හිතුනා මොකද මෙයා මෙතරම් හිනාවෙන්නේ කියලා. ඒත් හරියටම තේරුනේ නැහැ. "මේ ඇඟිලි හරි පුංචියි නේ!" ඈ කිව්වා. "ටිකක් ලොකුවට මුද්ද හදාගන්න". ඈ දැනුම් තේරුම් ඇතිව කිව්වා නිසා අපි එකඟ වුනා. අන්තිමට මුද්ද ගන්න යන දවසේ මුද්ද දාපු පෙට්ටියත් එක්ක සහතිකයකුත් ලැබුණා. "මුද්ද ඕනෙම දවසක අපි ආයෙත් ගන්නවා- අල්ලපු ගල් වල සම්පුර්ණ වටිනාකම එදාට දෙනවා". ඈ සහතිකය පැහැදිලි කළා- අර අලවපු හිනාව පිටින්ම. හිනාව වගේම සහතිකේ තේරුමත් මට තේරුනේ නැහැ. ඒත් ඒවා ගැන හිතන්න වෙලාවක් තිබ්බෙත් නැහැ.
.
ඔහොම ගිහින් මුද්ද ඇඟිල්ලට වැටුණා. ලොකුවට හදාගත්තට මොකද මුලදී මුද්ද හරි බුරුලයි. කමිස පොඟන්න දාපු බේසම ඇතුලෙම දවස් දෙක තුනක් නැතිවුණා. "ඒක වත් පරෙස්සම් කරගන්න බැහැනේ"කියලා හැමෝම බනීවි කියලා හරිම අමාරුවෙන් මම ඒක බලාගත්තේ. ගලවලා තියන්නත් බැහැ දාගෙන ඉන්නත් බැහැ. ඒත් ටිකක් කල් යනකොට මුද්දේ ගානට ඇඟිලි මහත් උනා. තවත් ටිකක් කල් යනකොට මුද්දේ ගානටත් වැඩිය ඇඟිලි මහත් උනා. මුදු කඩේ ගෑනු ළමයාගේ කතාවේ ඇත්ත තේරුණේ එතකොටයි. ඕනේ වුනත් දැන් නම් ගලවන්න බැහැ. මුද්ද දාපු ඇඟිල්ල, මුද්ද යට හීනි වෙලා. සුදුමැලි වෙලා. හරියට එතනට ලේ පිරෙන්නේ නැහැ වගේ. දවසක් ගවුම් පොඩි වල මල් මහද්දී එතන ඉඳිකටුව ඇණුනා. ඒත් පුදුමෙකට එතන කිසි හැඟීමක් දැනීමක් නැහැ. මට හදිස්සියේ මතක් වුනා මුදු කඩේ ගෑනු ළමයාව. ඈත් මුද්දක් දාගෙන හිටිය බව. මම ඈ වගේ හිනාවක් මූණේ අලවාගන්න බැලුවා. අමාරුම නැහැ. ලබන මාසේ නංගි යනවා එයාගේ මුදු තෝරන්න. එයාටත් කියන්න ඕනේ මුද්ද ලොකුවට හදාගන්න කියලා. . අර සහතිකේත් ඉල්ලගන්න කියලා. පස්සේ බැරියැ මූණේ හිනා අලවන්නේ කොහොමද කියලා කියලා දෙන්න

6 comments:

  1. මූණේ ගැලවෙන්නැති හිනාවක් අලවගන්ක මමත් කොච්චර ට්‍රයි කරනවද?
    මුද්දක් අරන් බලන්න ඕනි.

    ලස්සනයි කතාව.

    ReplyDelete
  2. මම හිතන්නේ අනිත් කෙනාගේ මුනේ තිබුන හිනාව දැන් නම් ගැලවිලා ඇති

    ReplyDelete
  3. මුද්ද ගලවගන්න බැරිනම් ඉතින් සහතිකෙන් වැඩක් ඇතෑ... ඇගිලි ලොකුවෙන්න කලින් ගලවන්නයි තිවුණේ...

    දැන් වුණත් ට්‍රයිකලොත් ගලවන්න බැරිවෙන එකක් නෑ... හැබැයි ගලවද්දි රිදෙයි... මූණේ අලවගත්ත හිනාවත් නැතිවෙන තරම්... :)

    ලස්සන කතාවක්..!

    ReplyDelete
  4. ස්තුතියි හැමෝටම!:)

    ReplyDelete
  5. කතා ගොඩයි, වචන අස්සෙන්...

    ReplyDelete