Sunday, June 20, 2010

වසත් සිහිනය

මේඝ වැහි වළා මැද
හිරු මුවා වූ දිනෙක
කිළිපොලන සුළං රැළි
ගතම දැවටෙන දිනෙක
සතර අත මල් පිපෙන
වසත් සිහිනය දකිමි
ලදළු රැඳි තුරු සෙවන
මතකයෙන් සැරිසරමි

Saturday, June 19, 2010

පාළුව

නුඹ නැතිව සිත පතුල
විදුලිලන පාළුවට
හුරුවෙන්නේ කෙලෙසකද
කියාදෙනු මැන මෙමට
ජීවිතය පුරාවට
නුඹ නොසිටි බව ළඟක
අදහගනු නොහැක මට
වැරදුනේ කොහිද මඟ?...

Wednesday, June 16, 2010

දේදුනු

















මන්මත් කරන් පැහැ නෙක
එකට කැලතුණු දේදුනු
එකක් නොව දෙකක්ම!
පායලා අර ගගනත..

සිත් කඳුළු වැස්සේ
ලොව දකින රිවි හසරැල්
අතරමැද පෑයූ
දේදුනු සේයි නුඹ මට...

Thursday, June 10, 2010

වරම් නැති

දෑත අතරින් ගිලිහි
සුළං රැළි ලුහු බඳිමි
ඈත උයනක සුපිපි
මල් සුවඳ සිප ගනිමි
පියවි ලොව හැමතැනම
සිහින සිතුවම් දකිමි
හෙලන්නට වරම් නැති
කඳුළු බිඳුවක් හෙලමි

Monday, June 7, 2010

කිරිල්ලිය










ඉක්මණින් අඳුරු වෙන
මේ සීත සෘතුවේ
සිහින් තටු පුම්බගෙන
කවුළු දොර ලඟට වී
...කවුළුවේ උණුහුමට
පෙමින් බැඳි කිරිල්ලිය...!

Thursday, June 3, 2010

සසල ගීතය

නුඹේ ගෙල වට දෑත පටලා
නෙතඟ බැල්මෙහි සිරව සිටි'යුරු
පැටලිලා දැවටිලා සිත තුළ
සැබෑවත් සිහිනයත් මුහු වී

අප වටා හා අපව වෙන්කර
බැඳී ඇති මේ පවුරු පදනම්
නුඹේ උණුසුම් හුස්ම අබියස
වියැකුණා මුළු ලොවත් එක්කම

එකම හඬකින් රිද්ම නංවන
දෙහදකින් නැඟි සසල ගීතය
අපට පමණක් ඇසෙන මොහොතක
තවත් දැවටෙමි සිතින් නුඹ වෙත

සසර හුරු සුසුම

සිනා අහුරක් රැගෙන මඟ බලයි
කොපුල සිඹ කඳුළු බිඳු පිස දමයි
සෙනෙහසින් සිත ලඟම තනි රකියි
සසර හුරු සුසුම් රැල්ලක් දැනෙයි

Tuesday, June 1, 2010

කවි මල

හිස්ම හිස් වූ හිතෙන්
කවියක් උපදින්න
නුඹ දුන්නු හාදුව
නතරවී සිත ගැඹර
පීදුනා කවි මලක්!