Friday, November 4, 2011

තටු

සොයා හදවත හරි මැද
වපුල නෑඹුල් බිජුවට
නඟා අංකුර හෙමිහිට
තටු මැවිණි උර තල මත

බියෙන් වක් වූ පියපත
සෙමෙන් සෙනෙහෙන් පිරිමැද
දුර අහස වුව ළඟ බව
රහස් තැබුවා සවනත

ගිලෙන විට කඳුලැලි ගඟ
සෙමෙන් තුරුලට අරගෙන
පියාඹන හැටි මුලසිට
කියාදුන්නා මතකද?

පියාපත් සවි වී අද
සරන සඳ මා පැතූ නුබ
නුඹේ සිනා මිස දුර සිට
තවත් දිනුමක් නැහැ මට

Friday, October 28, 2011

හිනැහෙමි

අතොරක් නැතිව කියවමි
එහෙත් කිසිවක් නොකියමි
කඳුළු ඉඳහිට සඟවමි
නුඹ නොදත් විට තුටු වෙමි

අකුරු එක එක අමුණමි
නුබ පුරා අතහැර යමි
කවි මැවෙනු දැක හිනැහෙමි
තරුයි නුඹ හට පෙන්වමි

දින දසුන් කිසි නොතකමි
සිනහසුණ දින හඳුනමි
උණුහුමක සිත සතපමි
කඳුළු බිඳුවක් සුරකිමි

Thursday, October 27, 2011

අන්තිම

දවස තිස්සේ හැලුණු
මහා වැස්සෙන් පසුව
අන්තිමම වැහි බිඳත්
පැද්දෙමිනි,මලක් අග

"හෙට අරුණ හිරු කිරණ
හාදුවක සැඟවෙමිද..?
ගලන බොර දිය පහර
කිමිද පිහිනා යමිද..?"

Wednesday, October 26, 2011

ගොළුබෙලි

ඔන්න,
ආව ගිය මඟ දිගට
ඇලවිලා සඳ එළිය තීරු!!

Sunday, October 23, 2011

හීනය!















තණබිම පියමැන
හොරැහින් බලමින
මීදුම එයි දුර
මන්දාරම මැද..
සීතල අත් තල
උණුහුම් කොපුලත
දවටා හිනැහෙමි
නුඹ මගේ හීනය!

Friday, October 21, 2011

එනතුරු

වහීවිම යැයි හිතුවත්
වැහි අඳුර විතරයි නුබ
විසල් ගස යට බංකුව
වියළි පත් පොරවන් අද..
පැණි කුරුළු බඳකින්
ගිලිහුණු පුංචි පියපත
සුසුම් පහරක පැටලී
සුළඟ යැයි රැවටුණු රඟ!

Thursday, October 20, 2011

I am here

දේදුනුත් හිඟ කාස්ටකයට
පාට ගෙන එමි මතක දියකර
විඩාබර නෙතු පියන් මතුපිට
හාදු තවරමි සීත දෙතොලින
පහුරු ගානා ඉරුවාරදයක
විස උරාගමි ඇඟිලි තුඩු වෙත
ඉර හඳත් දුර පුංචි ලෝකෙක
උරහිසක්‌ දෙමි නුඹේ සුසුමට

Wednesday, October 19, 2011

සුළඟ

සුළඟ ඇවිදින් උදයේම
තබා අත්සන වැලි මත
රතු ලදලු කලබල කර
මල් පියලි ගෙන නික්මිණ

වළා අතුරා ආ මඟ
රහස් පිඹ පිඹ හැම අත
දූලි තිර පට දිග හැර
ආව සැණෙකින් සැඟවිණ