Thursday, February 10, 2011

එළි

අරුණක දිදුලන
රිදී තරුව නුඹ
ලොව නිදි මොහොතක
ඉඟි කර මුමුණන
අවරක සැඟවෙන
උල්කා එළි නුඹ
ඉපිද සිඳෙන පැතුමන්
සේ දිස්වෙන

Monday, February 7, 2011

long tender kisses

නොනිමි මුදු හාදු වැසි
දෙතොල් අග සුව රසසි
පිණිති ඉහිරුණු විලසි
හද තඹර පිපි සරසි

Sunday, February 6, 2011

නුඹට මොහොතක්

රහසෙන් එනු මැන
හිත් ඉම පියමැන
සිනහ බිඳක්
නුඹේ දෝතට අරගෙන
මගේ ලොවෙන්
මොහොතක් සොරකම් කර
නුඹ වෙනුවෙන්
ලෝකයක් තනන්නම්

Thursday, February 3, 2011

ඒකපාර්ශවිය


හිරු යන එන අත
නිතරම සෙව්වත්
නුඹ ගැන හිරු නම්
නොදනී කිසිවක්

Wednesday, February 2, 2011

කේතකි

රළු ළවැලි මතින් පිපි
මුදු කේතකි කුසුමකි
සුභ සිහින හදේ පිරවූ
දළ සුළඟ සමඟ නැඟි
දූවිලි පුස්ඹෙන් පිරි
පුර කොණක වැඩෙයි නිසරූ
සැඩ සයුර ගෙනෙන නිති
ලුණු රටා ඇඳී ඇති
පත් පෙනෙයි විලස වියරූ
ලොව අපල මකණු රිසි
බුදු පුදට ගෙනෙන නිසි
කේතකි සෙව්වෝ බොහොලූ

Monday, January 31, 2011

tlc :)

හීන් හාදුවක්
සුළඟට පවරමි
නුඹ නළලත පිස
රිදුම් මකන්නට
දෙනෙත් පියාගෙන
මොහොතක් ඉනු මැන
ගව් දහසක දුර
මැකෙනු දැනෙන්නට

දුක් ගී?

සවන සනසන
විහඟ මිතුරනි
නුඹ ගයන්නේ
සතුටු ගීමද?
දුකක රේඛා
හීන් තනුවක
පටලැවී මට
ඇසෙන්නේ කිම?

Friday, January 28, 2011

සැඟවුණු සඳ

මල් කිණිති සිඹී සඳ
ලොව නිදි මේ රෑයම
තුරු මුදුන් අසල නැවතී
මුදු මුවරද සුවඳක
සිත ඔකඳ වෙලා අද
අහසට යන්නට නොරිසී